තායිවානය සමඟ ආයුධ ගනුදෙනු එපා



තායිවානය සමඟ ඇතිකරගත් ඇමෙරිකන් ඩොලර් බිලියන 2.2 ක් වටිනා ආයුධ සහ යුදෝපාකරණ ගනුදෙනුව වහා අවලංගු කරන්නැයි චීනය ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු අඟවා ඇත.

චීනය ඇමෙරිකාවට මෙසේ අනතුරු අඟවමින් විරෝධය පළ කළේ, කායිවානය සහ චීනය අතර පවතින අර්බුදය මුල්කොට ගනිමිනි. තායිවානය දූපත් රාජ්‍යයක් වන අතර චීනය එහි අසල්වැසියෙකි. තායිවානය කලක් චීනයට අයත් ව තිබුණු අතර, අද එය චීන පාලනයෙන් මිදී වෙනම රාජ්‍යයකි. එසේ වුවත් චීනය තවමත් තායිවානය ඔවුන්ගේ කොටසක් ලෙස සලකයි.

එහෙයින්, තායිවානය සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්නැයි චීනය සෙසු රටවලට දැනුම් දී ඇත. චීනය සමඟ පවතින වෙළෙඳ සබඳතා සැලකිල්ලට ගනිමින්, චීනට සතුරු කර ගැනීමෙන් වැළකී, බටහිර රටවල් බොහොමයක් තායිවානය සමඟ කිසිදු ආකාරයක ගනුදෙනුවක් සිදු කරන්නේ නැත.

කෙසේ නමුත් ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනපති ධුරයට පත්වීමෙන් පසු, තායිවානය සමඟ සමීප සබඳතා ඇති කරගත්තේය. තායිවාන ජනාධිපති සෙයි ඉංග් වෙන් වොෂින්ටන් අගනුවරට ගොස් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පවත්වා ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගෙන ඇත.

ආයුධ සහ යුරෝපාකරණ ගනුදෙනුව යටතේ ඇමෙරිකාව යුද ටැංකි, ගුවන් යානා විනාශ කළ හැකි මිසයිල පද්ධති ආදිය ද තායිවානයට ලබා දීමට සූදානමින් සිටී. ඇමෙරිකාව මේ අයුරින් තායිවානය සමඟ වෙළෙඳ ගනුදෙනුවක් සිදු කිරීමට සූදානම් වන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. තායිවානය සමඟ මෙම ආයුධ ගනුදෙනුව සිදු කරන්නේ ඇමෙරිකා ආරක්ෂක සහයෝගීතා ඒජන්සිය මැදිහත්වීමෙනි. ඇමෙරිකා ආරක්ෂක සහයෝගීතා ඒජන්සිය පෙන්වා දෙන අන්දමට, එම්1ඒ2ටී එබ්රාම්ස් වර්ගයේ යුද ටැංකි 108 ක්, ගුවන් යානා නාශක ස්ටිගර් වර්ගයේ මිසයිල 250 ක් ගනුදෙනුවට අතුළත් වෙයි.

මේ වනවිට ඇමෙරිකාව සහ චීනය අතර අර්බුදයන් පවතී. ඒ, දෙරට අතර හටගත් ‘වෙළෙඳ යුද්ධය’ මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව චීනයටත් චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවා ඇති අතර, එය ගෝලීය ආර්ථිකයට පවා විශාල බලපෑමක් එල්ල කර තිබේ.

‘වෙළෙඳ යුද්ධය’ අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එකඟ වී සිටී. ඒ, පසුගිය දා ජපානයේ ඔසාකා නුවර පැවැති ‘ජී20’ සමුළුව අතරතුරේ හමුවෙමිනි.

ඒ අනුව, මේ වනවිට ‘වෙළෙඳ යුද්ධය’ අවසන් කිරීම සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා ආරම්භ විය. ඇමෙරිකාව සහ තායිවානය අතර ඇති කරගත් මෙම ආයුධ ගනුදෙනුව මුල්කොට ගනිමින්, එම සාකච්ඡා අඩපණ වීමේ අවදානමක් පවතින බව ජගත් ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති.

බීජීංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS