තායිලන්තයෙත් අලි මැරිලා



තායිලන්ත වන රක්ෂිතයක දිය ඇල්ලකින් පහළට වැටී අලි හය දෙනකු මියගොස් ඇතැයි එරට වනජීවීහු කියති.

අලි රංචුවේ පැටවකු පළමුවෙන් දිය ඇල්ලෙන් පහළට වැටෙන්න ඇති බවත්, රංචුවේ සෙසු පිරිස පැටවා බේරා ගැනීමට උත්සාහ ගනිද්දී පහළට ලිස්සා යන්න ඇති බවත් අනුමාන කෙරේ.

වනජීවී නිලධාරීන් සිද්ධිය ගැන දැනගෙන ඇත්තේ දිය ඇල්ලට ඔබ්බෙන් වනාන්තරය මැදින් දිවෙන මාර්ගය හරස් කර ගනිමින් අලි රංචුවක් එහි ගැවසීම නිසා යැයි වනජීවී නිලධාරීහු වැඩිදුරටත් කියා සිටිති. ප්‍රපාතය අද්දර ලිස්සා ගොස් සිරවී සිටි අලි දෙදෙනකු වන ජීවීන්ගේ මැදිහත් වීමෙන් බේරා වනයට යැවීමට පියවර ගත් බව ද පැවැසෙයි.

අලි රංචුව වැටී ඇත්තේ ‘හෝව් නාරොක්’ නමින් හැඳින්වෙන දිය ඇල්ල ආශ්‍රිත ප්‍රපාතයටය. ‘හෝව් නාරොක්’ යන්නෙහි අර්ථය අපායේ දොරටුව යන්නය.

මීට පෙර වන සතුන් රැසක් මෙම ස්ථානයේ දී මියගොස් ඇතැයි ද පැවැසෙයි. 1992 දී මෙම දිය ඇල්ල ආශ්‍රිතව අලි අට දෙනෙකු පහළට වැටීමෙන් මියගිය බව තායිලන්ත පුවත් සේවා පෙන්වා දෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS