ඩෙන්මාර්ක ඇමෙරිකා මිතුදම් පළුදු වෙලා නෑ



ස්කැන්ඩිනේවියා රටක් වන ඩෙන්මාර්කය ඇමෙරිකාවේ සමීපතම මිතුරකු බවත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඩෙන්මාර්ක සංචාරය අවලංගු කිරීමෙන් එම මිතුදම් පළුදු නොවනු ඇති බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි.

පොම්පේඕ මේ බව කියා සිටියේ, ඩෙන්මාර්ක විදේශ ඇමැති ජෙෆ් කොපොඞ් සමඟ පැවැති දුරකතන කතාබහකින් පසුවය. එම දුරකතන කතාබහ පැවැත්වූයේ ඩෙන්මාර්ක සංචාරය අවලංගු කරන බව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසුවය.

ඇමෙරිකා ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් දෙවැනිදා ඩෙන්මාර්කයේ සංචාරය කිරීමට නියමිතව ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රත් රැජිනගෙන් ඇරැයුමකට අනුවය. ට්‍රම්ප් එම සංචාරය අවලංගු කරනවා යැයි පැවැසුවේ, අයිස්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් දුරදිග යෑමෙනි.

අයිස්ලන්තය ආක්ටික් කලාපයේ පිහිටි ලොව විශාලතම දූපතය. අයිස්ලන්තය ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි. ස්වභාවික වායු සහ ඉන්ධන පිරුණු ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට සුදුසු වටිනා භූමියක් ලෙස අයිස්ලන්තය හඳුන්වා දෙමින් ට්‍රම්ප් පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් අයිස්ලන්තය මිලදී ගැනීමට කැමැත්තක් දක්වන බවය. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු ද වෙයි.

ට්‍රම්ප් කළ මෙම ප්‍රකාශය අයිස්ලන්ත වැසියන්ගේ පමණක් නොව ඩෙන්මාර්ක වැසියන්ගේ ද විරෝධයට හේතුවක් විය. ඩෙන්මාර්ක රජය ඇමෙරිකා ජනපතිවරයාගේ සිත නොරිදෙන අන්දමට, ඇමෙරිකා ඩෙන්මාර්ක සබඳතා දිගටම පවත්වා ගෙන යමින් විරෝධය පළ කළත්, ඇමෙරිකා ජනපති කියා සිටියේ, හටගත් අර්බුදය හේතුවෙන් තමන් ඩෙන්මාර්ක සංචාරය අවලංගු කරන බවය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් (විදෙස් ඇමති) මයික් පොම්පේඕ සහ ඩෙන්මාර්ක ජෙෆ් කොපොඞ් අතරේ දුරකතන සන්වාදය සිදුවූයේ ඉන්පසුවය. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඩෙන්මාර්ක සංචාරය අවලංගු කිරීම සම්බන්ධයෙන් විදේශ ඇමැති ජෙෆ් කොපොඞ් ඩෙන්මාර්ක රජය වෙනුවෙන් කනස්සල්ල පළ කළේය. එහිදී පොම්පේඕ කියා සිටියේ ඇමෙරිකාව සහ ඩෙන්මාර්කය අතර ඇති මිත්‍රත්වය කිසිදු ලෙසකින් පළුදු වී නැති බවය.

කෝපන්හේගන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS