ට්‍රම්ප්ට වැඩ වරදින ළකුණු



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ගෙන ඒමට සැරැසෙන දෝෂාභියෝගයට සහාය දක්වමින්, සාක්ෂි ඉදිරිපත් කිරීමට ධවල මන්දිරයට අනුයුක්තව රාජකාරි කරන තවත් සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරියකු සූදානම් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන 2020 දී පැවැත්වීමට නියමිත අතර, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප්, එම ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. ඒ, දෙවැනි සහ අවසන් ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහාය. කෙසේ නමුත් ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ට්‍රම්ප්ට එරෙහිව ගෙන ඒමට සැරැසෙන දෝෂාභියෝගය ට්‍රම්ප්ට අවාසියක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඩිමොක්‍රටික්වරුන් සතුවය. ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැරැසෙන්නේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසිය.

2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඇත්තේ ජෝ බයිඩන්ය. බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, නියෝජ්‍ය ජනාධිපති ධුරය හෙබවූයේ බයිඩන්ය.

ජෝ බයිඩන්, නියෝජ්‍ය ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පුතා හන්ටර් බයිඩන්, ‘බුරිස්මා’ නමැති යුක්රේන තෙල් සහ ගෑස් සමාගමේඅධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය. එම සමාගම දූෂණ වංචා රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල විය. යුක්රේනයේ එදා පැවැති රජය ඒ ගැන විමර්ශන කිරීමට උත්සාහ කළත් ජෝ බයිඩන්ගෙන් ඊට බලපෑම් එල්ල වී තිබේ.

පසුගිය ජූලි 25 වැනිදා, ජනාධිපති ට්‍රම්ප්, යුක්රේනයේ නව ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සිකිට ඇමතුමක් දුන්නේය. එහිදී ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසටය.

මේ දුරකතන කතාබහ ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට අනාවරණය කළේ ධවල මන්දිරයට සම්බන්ධව කටයුතු කරන ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරියෙකි. දෙවැනි බුද්ධි අංශ නිලධාරියා ඉදිරිපත් වී ඇත්තේ මෙම පළමු බුද්ධි අංශ නිලධාරියා ලබා දුන් දත්ත සහ වාර්තා සනාථ කරමින් තවත් ප්‍රබල වාර්තා ලබා දීමට යැයි මොවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පැහැදිලි කර තිබේ. ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් මෙම බුද්ධි නිලධාරීන්ගේ අනන්‍යතා මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ජෝ බයිඩන් ගැන විමර්ශනයක් කරන්නැයි යුක්රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ හුදෙක් දේශපාලනික වශයෙන් ‘මඩ ගැසීමට’ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ප්‍රතිවාදී අපේක්ෂකයකුට මඩ ගැසීමට තම ජනපති බලතල භාවිත කිරීම නීතිවිරෝධී බව නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඩිමොක්‍රටික්වරු පෙන්වා දෙති. ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට සූදානම් වන්නේ එහෙයිනි.

දෝෂාභියෝගයට අදාල පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් කිසිදු ආකාරයකින් එම පරීක්ෂණවලට සහාය ලබා නොදෙන බවය. මේ අතර,ජෝ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන් සම්බන්ධයෙන් යළි විමර්ශනයක් ආරම්භ කරන බව යුක්රේන නීතිපති කාර්යාලය නිවේදනය කළේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS