ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඇරැඹේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) සෙනෙට් මණ්ඩලය හමුවට යොමු කිරීම අද (22) ඇරැඹිණි.

ජනාධිපති බලතල අවභාවිත කළේ යැයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සෙනට් මණ්ඩලයේ නඩු විභාගයක් ද පැවැත්වෙයි. සෙනට් මණ්ඩලයට දෝෂාභියෝගය ඉදිරිපත් කෙරුණේ වාද විවාද මධ්‍යයේය.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආදී වශයෙන් කොටස් දෙකකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුව නොව, ඩිමොක්‍රටික් පක්ෂය සතුවය.

ජනපති බලතල අවභාවිත කළේ යැයි චෝදනා නගමින්, ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ඒමට කටයුතු කළේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසිය. ඒ, පසුගිය දෙසැම්බරයේය. දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණු අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් එයින් පරාජයට පත් විය.

දෝෂාභියෝගයේ දෙවැනි පියවර, එය සෙනෙට් මණ්ඩලයට යොමු කිරීමය. අද (22) සිදුවූයේ එම ක්‍රියාවලියයි. සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුව වන අතර දෝෂාභියෝගයට අදාල නඩු විභාගය පැවැත්වීම ආරම්භ වූයේ  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජෝන් රොපට්ස්ගේ අධීක්ෂණය යටතේය. රිපබ්ලිකන්වරුන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් අතර වාද විවාද පැවැතියේ දෝෂාභියෝග ක්‍රියාවලිය කෙසේ සිදුවිය යුතුදැයි සම්බන්ධයෙනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS