ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක්



කොංග්‍රස් මණ්ඩල සැසියට බාධා කිරීමට විරෝධතාකරුවන් උසි ගැන්වූයේ යැයි යන චෝදනාවට ලක් වී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පක්ෂය සැරැසෙයි.

දෝෂාභියෝගයට අදාල යෝජනාව, හෙට (12) කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බව කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි පවසා ඇත.

ඒ අනුව, ට්‍රම්ප් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඡන්ද විමසුමක් පැවැත්වෙයි.

ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් වන ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. සෙනෙට් මණ්ඩපයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික් පක්ෂය සතු බැවින්, එය ට්‍රම්ප්ට අවාසියක් වනු ඇත.

පසුගිය 6 වැනිදා ට්‍රම්ප්ගේ උසි ගැන්වීම් මැද ඔහුගේ ආධාරකරුවෝ කලහ කරමින් කොංග්‍රසයට බාධා කළ අවස්ථාවේ, සෙනෙට් මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන්ගේ අප්‍රසාදය පවා ට්‍රම්ප්ට එල්ල විය. එහෙයින්, රිපබ්ලිකන්වරුන් ට්‍රම්ප්ට විරුද්ධව, දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබා දෙනු ඇති බව පැවැසෙයි.

පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූ බවත්, ජෝ බයිඩන් ජයග්‍රහණය කළ බවත් තහවුරු වී ඇත.

බයිඩන්ගේ ජය තහවුරු කිරීමට ඇමෙරිකන් කොංග්‍රසය රැස් වූයේ පසුගිය 6 වැනිදාය.

ට්‍රම්ප් ආධාරකරුවන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී කොංග්‍රස් සැසියට බාධා කළේ එම අවස්ථාවේදීය.

එම සිදුවීමෙන් පසු ට්‍රම්ප් ‘මෙල්ල වුණැයි’ ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පැවැසීය.

ඒ, ඔහුට ඩිමොක්‍රටික්වරුන්ගෙන් පමණක් නොව, රිපබ්ලිකන්වරුන්ගෙන් ද විරෝධයක් එල්ල වූ බැවිනි.

ට්‍රම්ප් ද ප්‍රතිඥා දී ඇත්තේ තමන් බයිඩන්ගේ ජය පිළිගෙන සාමකාමීව ඔහුට බලය පවරා දෙන බවය. බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත්තේ එලැඹෙන 21 වැනිදාය.

බයිඩන්ගේ දිවුරුම් දීමේ උළෙලට ට්‍රම්ප් සහභාගී නොවනු ඇති බවත්, එදින ඔහු ෆ්ලොරීඩාවේ ඔහුගේ නිවාඩු නිකේතනයේ ගතකරනු ඇති බවත් ධවල මන්දිරයෙන් වාර්තා වේ.

තමන්ගේ දිවුරුම්දීමේ උළෙලට ට්‍රම්ප් සහභාගී නොවීමට ගත් තීරණය ගැන තමන් අතිශය සතුටට පත්වන බව ජෝ බයිඩන් පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS