ජම්මු කාශ්මීරයේ ආරක්ෂාව තර කෙරේ



ජම්මු කාශ්මීරයේ ඉන්දීය රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින්, ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති හෙයින්, ජම්මු කාශ්මීරයේ ආරක්ෂාව තවත් තර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

ප්‍රහාර සැලැසුම් කර ඇත්තේ පාකිස්තාන රජයේත්, එරට බුද්ධි අංශයේත් අනුග්‍රහය ලබන ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලිය යැයි ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට අයත් පළාත් වන්නේ ජම්මු, කාශ්මීර් සහ ලඩාක් ය. ජම්මු සහ කාශ්මීර් පළාත් ඇත්තේ පාකිස්තානයට මායිම් වන්නටය.

පාකිස්තාන පාලන ප්‍රදේශවල සිට ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් කණ්ඩායමක් මේ වනවිට ජම්මු සහ කාශ්මීර් පළාත් වෙත පැමිණ ඇතැයි ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත. පසුගිය පෙබරවාරියේ ජම්මු කාශ්මීරයේ පුල්වාමා පළාතේ දේශසීමා පොලිස් නිලධාරීන් ගමන් කළ බස් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ ද ‘ජායිෂ් ඊ මොහොමද්’ සාමාජිකයන්ය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දීය පාලනයට නතු ජම්මු, කාශ්මීර් සහ ලඩාක් පළාත් සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, ඉන්දීය රජය එම පළාත් සම්බන්ධයෙන් ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේ ලබා දී තිබුණු විශේෂ බලතල ඉවත් කිරීම නිසාය.

ශ්‍රී නගර්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS