ජපාන පාලක පක්ෂයට නව නායකයෙක්



ජපානයේ පාලක ලිබරල් පක්ෂයේ නව නායකයා ලෙස 71 හැවිරිදි යොෂිහිඩෝ සුගා තෝරා ගැණින.

ඒ අනුව, ෂෙන්සෝ අබේගේ ඉවත් වීමත් සමඟ පුරප්පාඩු වූ ජපන් අගමැති ධුරය ද හිමිවනු ඇත්තේ 71 හැවිරිදි යොෂිහිඩෝ සුගාටය.

යොෂිහිඩෝ සුගා ගොවියකුගේ පුතෙකි. පක්ෂ නායකත්වයටත් අගමැති ධුරයටත් නම් කෙරුණු අවස්ථාව වනවිට, ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළේ යොෂිහිඩෝ ය.

පක්ෂ නායකත්වය වෙනුවෙන් ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමට හිටපු ආරක්ෂක ඇමැති ෂිගෙරු ඉෂිබා සහ හිටපු විදේශ ඇමැති ෆිමියෝ කිෂිඩා ඉදිරිපත් වූහ. කෙසේ නමුත් බහුතර කැමැත්ත හිමිවූයේ යොෂිහිඩෝ ටය.

ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සහ නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගැනීමට සිදුවූයේ ෂෙන්සෝ අබේගේ ඉවත්වීමය. ෂෙන්සෝ අබේ පක්ෂ නායනත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත් වූයේ අයහපත් සෞඛ්‍යය හේතුවෙනි.

අබේ, ලිබරල් පක්ෂයට නායකත්වය දෙමින්, ජපන් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2012 සිටය. ජපානයේ දීර්ග කාලයක් අගමැතිවරයා ලෙස කටයුතු කළේ ද අබේ ය. ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානයේ විශිෂ්ඨතම අග්‍රාමාත්‍යවරයකු ලෙස ද අබේ ජනතා ප්‍රසාදය දිනා සිටී.

අබේගේ ආර්ථික ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගෙන යෑමට යොෂිහිඩෝ සුදුස්සකු බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී ඇත. අබේ ධුරයෙන් ඉවත් වූයේ ධුර කාලය අවසන් වීමට වසරක් තිබියදීය.

2021 වසරේ ජපන් මහ මැතිවරණය පැවැත්වෙයි. එතෙක් අන්තර්වාර අගමැතිවරයකු ලෙස යොෂිහිඩෝ කටයුතු කරනු ඇත.

ඉදිරි මාස කීපයේ ජනතා ප්‍රසාදය දිනා ගැනීමට කටයුතු කළහොත්, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් යොෂිහිඩෝට ජනවරමක් සහිතව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට ඉඩ සැලැසෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ටෝකියෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS