ජනාධිපති ට්‍රම්ප් කොංග්‍රසය අමතයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිය ප්‍රතිපත්ති කතාව (ස්ටේට් ඔෆ් යූනියන්) කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) හමුවේ ඉදිරිපත් කළේය.

ජනපති ධුරයට පත්වීමෙන් පසු ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ප්‍රතිපත්ති කතාව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළ දෙවැනි අවස්ථාව මෙයයි. දේශීය වශයෙන් පමණක් නොව, විදේශීය වශයෙන් ද වැදගත් කරුණු කාරණා රැසක් ට්‍රම්ප් දේශනයට ඇතුළත් විය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ දෙවැනි හමුව ලබන 27 සහ 28 පැවැත්වෙනු ඇති බවත්, ලෝක සාමය වෙනුවෙන් එය ඉතා වැදගත් හමුවක් වනු ඇති බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නේය. වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ද ට්‍රම්ප් කරුණු දැක්වීය. වෙනසියුලා විපක්ෂ ක්‍රියාකාරීන්ට දිගින් දිගටම සහාය දක්වන බව ද ට්‍රම්ප් කියා සිටියේය.

චීනය විසින් උදුරා ගනු ලැබූ ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා යළි ඇමෙරිකානුවන්ට උදාකර දීමට තමන් ගත් උත්සාහය සාර්ථක වෙමින් පවතින බවත්, රටේ ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් කිරීමට හැකිවුණු බවත් ට්‍රම්ප් පැවැසීය.
ඇමෙරිකාවේ රැකියා ක්ෂේත්‍රයට වැඩි වශයෙන් කාන්තාවන් යොමු වී ඇති බවත් එය රටට ආඩම්බරයක් බවත් ට්‍රම්ප් පැවැසූ අවස්ථාවේදී, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරුන් අසුන්වලින් නැගිට අත්පොලසන් දෙමින් ට්‍රම්ප්ට සහාය පළ කිරීම කාගේත් පුදුමයට හේතුවක් විය.

පසුගිය වසරේ නොවැම්බරයේ පැවැති ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් වැඩි කාන්තා නියෝජනයක් නියෝජික මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වී සිටී.

ට්‍රම්ප්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන්, විශේෂයෙන් ට්‍රම්ප් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිරිකිරීමට යෝජනා කළ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් බහුතරයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එවැනි තත්ත්වයක් පවතිද්දී, රැකියා ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ඉහළ යෑම සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශයට නැගී සිට අත්පොළසන් දීමට ඩිමොක්‍රටික් මන්ත්‍රීවරියන් කටයුතු කිරීම කිසිවකු අපේක්ෂා නොකළ දෙයක් යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

ඇමෙරිකාව ශක්තිමත් මෙන්ම සමෘද්ධිමත් රටක් බවට පත් කිරීමට පක්ෂ භේදයකින් තොරව තමන්ට සහාය දක්වන්නැයි ද මෙම අවස්ථාවේදී ජනපතිවරයා ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජනපති ට්‍රම්ප් සිය ප්‍රතිපත්ති කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේ ජනවාරි අවසන් සතියේය. කෙසේ නමුත් ට්‍රම්ප් විසින් යෝජනා කරනු ලැබූ දේශසීමා තාප්පය මුල්කොට ගනිමින් හටගත් අර්බුදය හේතුවෙන් ඊට බාධා එල්ල විය.

එම අර්බුදය තාවකාලිකව විසඳී ඇති අතර, ලබන 15 වැනි දා තෙක් රජයේ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන සඳහා අනුමැතිය ද හිමි වී ඇත. කෙසේ නමුත් ට්‍රම්ප් පවසා ඇත්තේ ලබන 15 වැනිදා වනවිට තමන් යෝජනා කළ දේශසීමා තාප්පය හෝ යකඩ වැට හෝ ඉදිකිරීමට සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන තමන්ට ලබා දීමට  ඩිමොක්‍රටික් බහුතර බලයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟ විය යුතු බවය. ඊට ප්‍රතිචාර දක්වමින්, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි පවසා ඇත්තේ, ට්‍රම්ප් යෝජනා කර ඇති තාප්පය සඳහා කිසිදු අවස්ථාවක මුදල් වෙන් නොකරන බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS