ජනපති ට්‍රම්ප් නැගිට යයි



ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා ප්‍රාකාරය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර යළි සාකච්ඡා වටයක් පැවැත්වුණු අතර එය ද අසාර්ථක විය.

සාකච්ඡා පැවැත්වූයේ ජනාධිපති ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පාක්ෂික නියෝජිත මන්ත්‍රී මණ්ඩල කථා නායිකා නැන්සි පෙලෝසි සහ තවත් ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන සෙනෙට් මණ්ඩල සාමාජික චක් ෂූමර් අතරේය.

ඇමෙරිකා පාර්ලිමේන්තුව (කොංග්‍රසය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වන අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය. කෙසේ නමුත් සෙනෙට් මණ්ඩලයේ වැඩි බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා ප්‍රාකාරය ඉදි කිරීම ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවකි. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 6.5 ක් වැය වන බව ධවල මන්දිරය පෙන්වා දෙයි. ඊට අදාල මුදල් ලබා ගැනීම ට්‍රම්ප්ට ගැටලුවක් වී ඇත. ඒ ඩිමොක්‍රටික් බහුතර බලයක් ඇති නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් එල්ල වන විරෝධය හේතුවෙනි.

හටගත් මෙම අර්බුදය මුල්කොට ගනිමින් අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී ඇමෙරිකා රජයේ කටයුතුවලින් සියයට 25 කට වැඩි ප්‍රමාණයක් අඩපණ වී, රජය අකර්මණ්‍ය වී ඇත. ෆෙඩරල් සේවක සේවිකාවන් ලක්ෂ අටක් වැටුප් රහිතව රාජකාරි කරන බව වාර්තා වේ.

ට්‍රම්ප්, කතා නායිකා නැන්සි පෙලෝසි චක් ෂූමර් අතරේ හමුව පැවැත්වූයේ ධවල මන්දිරයේ ‘සිටුවේෂන් රූම්’ යන නමින් හැඳින්වෙන, ඇමෙරිකා රජය මුහුණ පාන අර්බුද හා ගැටලු සාකච්ඡා කරකන කාමරයේය.
අසුන් ගෙන සාකච්ඡා ආරම්භ වූ අවස්ථාවේදී ට්‍රම්ප් කෙළින්ම නැන්සි පෙලෝසි දෙසට හැරී විමසුවේ, ‘ඔබ මගේ තාප්පයට මුදල් දෙනවාද නැද්ද ?’ කියාය. ‘එය කළ නොහැකියි’ යනුවෙන් නැන්සි පිළිතුරු දුන්නාය. ඒ සමඟ ‘අපට වෙන කථා කරන්න දෙයක් නැහැ’ යැයි කියමින්, ට්‍රම්ප් නැගිට කාමරයෙන් පිටවී ගොස් ඇත.
ජනාධිපති ට්‍රම්ප් ඉන්පසු ට්විටර් පණිවුඩවක් නිකුත් කරමින් සිදුවුණේ කුමක්දැයි ප්‍රසිද්ධියට පත් කළේය. ‘චක් සහ නැන්සි දෙන්නා හමුවන්න මට අවස්ථාව ලැබුණා. ඒක කාලය නාස්ති කිරීමක්. රටේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාකාරය ඉදිකරනවා ද නැද්ද මම කෙළින්ම විමසීමක් කළා. නැන්සි බැහැ කීවා. මම එතැනින් නැගිටලා ආවා’ යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS