ජනපතිවරණය කල් දමන්න ට්‍රම්ප් සැරැසෙයි



සෑම මිනිත්තුවකම, ඇමෙරිකාවෙන් කොරෝනා මරණයක් වාර්තා වීමත් සමඟ, ජනතාවගේ ආරක්ෂාවට මුල් තැන දෙමින්, ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට සිදුවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ ට්විටර් පණිඩුයක් මගිනි. වයිරස වසංගතය මධ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වුවහොත් අක්‍රමිකතා රැසක් සිදුවීමට ද ඉඩ ඇති බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

‘ජනතාවට ආරක්ෂිතව, විශ්වාසයෙන් යුතුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වී නැහැ. ඒ නිසා මා හිතනවා ජනාධිපතිවරණය ප්‍රමාද කළොත් හොඳයි’ යනුවෙන් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

ඇමෙරිකාවේ කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් යැයි චෝදනා එල්ල වෙයි. මේ සියලු කරුණු කාරණා හේතුවෙන් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩුවී ඇති බව ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් තිබේ.

ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය. බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ බයිඩන්ය. ජනමත සමීක්ෂණ අනුව, බයිඩන්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබේ.

වංචනික ක්‍රියා සිදුවේවි යැයි බියෙන් ජනාධිපතිවරණය කල් දැමීමට ට්‍රම්ප් උත්සාහ ගන්නේ නම්, ඊට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ අවධාරණය කර තිබේ. ඇමෙරිකානුවන්ගේ ජීවිතයට වයිරසයෙන් තර්ජනයක් වේවි නම්, ජනපතිවරණය කල් දැමීම කළ යුතු යැයි නිර්දේශ ඉදිරිපත් කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් යැයි රිපබ්ලිකන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS