ජගත් අධිකරණට තර්ජන



ඇෆ්ගනිස්තානයේ යුද අපරාධ කළැයි චෝදනා කරමින්, ඇමෙරිකාවට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා ඉදිරිපත් කළොත්, එම අපරාධ අධිකරණයේ විනිසුරුවරුන්ට සහ නිලධාරීන්ට එරෙහිව දැඩි කි‍්‍රයා මාර්ග ගන්නා බවට ඇමෙරිකාව අනතුරු අඟවයි.

ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ අනතුරු ඇඟවීම කළේ ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ය.

‘ඇෆ්ගනිස්තානයේ යුද අපරාධ කළේ යැයි ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් වෙනවා. එය කිසිසේත් අනුමත කළ නොහැකියි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය එසේ කි‍්‍රයාමාර්ග ගන්නේ නම්, ඔවුන්ට එරෙහිව කි‍්‍රයා මාර්ග ගන්න ඇමෙරිකාව සූදානමින් සිටිනවා’ යැයි ධවල මන්දිර ආරක්ෂක උපදේශකවරයා පවසා ඇත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තම සමීපතම හිතවතා වන ඊශ‍්‍රායලයට ද යුද අපරාධ චෝදනා එල්ල කරන්න සැරැසෙනවා. එසේ කිරීමට ද අප ඉඩ දෙන්නේ නැහැ යැයි ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් වැඩි දුරටත් කියා සිටී.

 (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS