චීන කොරෝනා එන්නත නොවැම්බරයේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට චීන විද්‍යාඥයන් නිපදවූ ‘කොරෝනාවැක්’ නමින් නම් කළ එන්නත ලබන නොවැම්බරයේ දී චීන වැසියන් සඳහා සූදානම් කෙරෙනු ඇතැයි චීන රජය නිවේදනය කළේය.

චීන රජයේ සහ චීන ආරක්ෂක අමත්‍යාංශයේ අධීක්ෂණයත් අනුග්‍රහයත් මැද ‘කොරෝනාවැක්’ එන්නත නිපදවන්නේ චීනයේ ‘සිනෝවැක්’ ඖෂධ සමාගමය.

මේ වනවිට ‘කොරෝනාවැක්’ එන්නත තෙවැනි සහ අවසන් වටයේ සායනික පර්යේෂණ සඳහා යොදා ගැනෙයි. චීන හමුදා සොල්දාදුවන්ටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තෝරා ගත් පිරිසකටත් එන්නත ලබා දීම සිදු කර අවසන්ය. තෙවැනි වටයේ මූලික සායනික පර්යේෂණවල ප්‍රතිඵල අනුව, ‘කොරෝනාවැක්’ එන්නත සාර්ථක බව තහවුරු වී තිබේ. එන්නත ලබන නොවැම්බරය වනවිට චීන වැසියන් සඳහා සූදානම් බව පැවැසෙන්නේ ඒ අනුවය.

‘කොරෝනාවැක්’ එන්නත සාර්ථක වුවත්, එය චීනයේ සියලුම දෙනාට ලබා ගැනීමට අවශ්‍යතාවක් නැතැයි චීන සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර තිබේ. වයිරස අවදානමක් පවතින පළාත් සහ නගරවල චීන වැසියන්ට සහ සංචාරක කටයුතුවල නියැලෙන චීන වැසියන්ට එන්නත ලබා දීම සිදුවනු ඇත. එන්නත ලබා දීම සිදුවනු ඇත්තේ නොමිලේ යැයි ද පැවැසෙයි.

“කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ඇරැඹුම සිදුවූයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගිනිමින්. අද වනවිට හුබෙයි පළාතෙන් හෝ වූහාන් නුවරින් හෝ ආසාදිතයන් හමුවන්නේ නැහැ. පසුගිය කාලයේ චීනයේ බීජීං නුවරින් පවා වයිරසයේ දෙවැනි රැල්ලක් හිස එසවීම සිදුවූවා. ඒත් එය සාර්ථකව මර්දනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සහ හමුදාව සමත් වුණා. එහෙයින්, කොරෝනා මර්දන එන්නත ලබා දීම අවශ්‍ය වන්නේ අවදානම් කලාපවල වැසියන් පමණයි’ යැයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

බීජංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS