චීන කොරෝනා එන්නත ඉන්දුනීසියානුවන්ට



‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව චීන විද්‍යාඥයන් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත අද (13) සිට ඉන්දුනීසියානුවන්ට ලබා දීම ආරම්භ විය.

ඉන්දුනීසියා සෞඛ්‍ය අංශ තීරණය කර ඇති අන්දමට, එන්නත පළමුවෙන් ලබා දෙන්නේ එරට වැඩිහිටි ප්‍රජාවට නොව අවුරුදු 18 ත් 59 ත් අතර වයස් කාණ්ඩයට අයත් තරුණ ප්‍රජාවටය.

එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩොඩෝ එන්නත ලබා ගැනීමෙනි. එන්නත ආරක්ෂිත බව එය ලබා ගනිමින් ජනාධිපතිවරයා ජනතාවට සහතික විය.

ඉන්දුනීසියානු රජය මිලදී ගෙන එරට වැසියන්ට ලබා දෙන්නේ ‘කොරෝනා වැක්’එන්නතය. මෙය චීනයේ සිනොවැක් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ සාර්ථක එන්නතය. ‘කොරෝනා වැක්’ එන්නත සමාන වන්නේ ඔක්ස්ෆර්ඞ් වෛද්‍ය පර්යේෂකයන් සහ ඇන්ට්‍රා සෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම සහ රුසියාවේ ගැමලේයා සමාගම නිපදවූ ‘ස්පුට්නික් 5’ එන්නතටය.

ලෝකයේ සෙසු රටවල් එන්නත ලබා දීමේ දී ප්‍රමුඛත්වය දී ඇත්තේ වැඩිහිටි ප්‍රජාව සහ සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන්ටය.  ඉන්දුනීසියානු රජය සෞඛ්‍ය උපදෙස් අනුව, පළමු අදියරේ දී එන්නත ලබා දෙන්නේ අවුරුදු 18 ත් 59 ත් අතර වැසියන්ට සහ එම වයස් කාණ්ඩයට අයත් සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට, ගුරුවරුන්ට, හමුදා සහ පොලිස් නිලධාරීන්ට මෙන්ම දේශපාලනඥයන්ටය.

‘කොරෝනා වැක්’ එන්නත ඉන්දුනීසියා වැසියන්ට ලබා දීම සිදුවන්නේ හදිසි අවස්ථාවක් ලෙස සලකමිණි. ඒ, එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ සහ සෞඛ්‍ය අමත්‍යාංශයේ අනුමැතිය හිමිවීමෙන් පසුවය. මාර්තු මාසය අවසන් වෙද්දී, පළමු අදියර යටතේ මිලියන 1.3 කට එන්නත ලබා දීමට නියමිතය.

‘කොරෝනා වැක්’ එන්නත තවමත් සියයට සියයක් සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කර නැත. එන්නත සියයට සියයක් සාර්ථන බව පැවැසෙන්නේ අවුරුදු 18 ට වැඩි 60 ට අඩු වයස් කාණ්ඩයට පමණි. 65 ට වැඩි වැඩිහිටියන් සම්බන්ධයෙන් සායනික අත්හදා බැලීම් දිගටම සිදුවෙමින් පවතී.

ජකර්තාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS