ගැහැනු දෙදෙනාගේ සටන



නවසීලන්ත මහ මැතිවරණය අද (17) පැවැත්වෙන අතර, නවසීලන්ත දේශපාලන විශ්ලේෂකයන් මෙම මැතිවරණය හදුන්වා දී ඇත්තේ එය කාන්තාවන් දෙදෙනකු අතරේ පැවැත්වෙන ඡන්ද සටනක් කියාය.

වත්මන් අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ප්‍රම්‍රඛ කම්කරු පක්ෂය මෙහෙයවමින් මැතිවරණයට ඉදිරිපත් වන අතර, එය පහසුවෙන් විශිෂ්ට ජයක් අත් කරගනු ඇතැයි ද දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කර සිටිති.

අද දිනයේ මැතිවරණය පැවැත්වෙන්නේ සෞඛ්‍ය උපදෙස් අනුවය. ඒ, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙනි.

මේ වනවිට නවසීලන්තයෙන් කිසිදු කොරෝනා වයිරස ආසාදිතයකු වාර්තා නොවන අතර, රෝහල්ගතව ද කිසිදු ආසාදියකු ප්‍රතිකාර ලබන්නේ ද නැත. කොරෝනා වයිරසය හේතුවෙන් නවසීලන්ත වැසියන්ට කල් ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබුණු අතර බොහෝ දෙනා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

නවසීලන්තයේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූයේ පසුගිය අගෝස්තුවේ ඕක්ලන්ඩ් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඔක්ලන්ඩ් කේන්ද්‍රකොට ගනිමින් ඇරැඹුණු කොරෝනා දෙවැනි රැල්ල ද ඉතා සාර්ථකව මර්දනය කිරීමට නවසීලන්ත රජය සහ සෞඛ්‍ය අංශ සමත් විය. ඒ, අග්‍රාමාත්‍යවරිය සහ සෞඛ්‍ය අංශ එක්වගෙන යන සාර්ථක කොරෝනා මර්දන වැඩපිළිවෙළ හේතුවෙනි.

වයිරස ව්‍යාප්තිය සාර්ථක ලෙස මර්දනය කිරීමට තම රජයට හැකියාව ලැබුණේ නවසීලන්ත වැසියන්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ පිළිපැඳීම නිසා යැයි පසුගිය සතිය පුරා ජන රැලිවලට එක් වෙමින්, ජනතාව සමග සෙල්ෆි ඡායරෑපවලට පෙනී සිටිමින්, 40 හැවිරිදි අගමැතිනිය පැවැසුවාය. ඇය මෙසේ පවසද්දී, ඇගේ ආධාරකරුවෝ ප්‍රීතිඝෝෂා නැගූහ.

නවසීලන්තයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 1,154 ක් වන අතර මරණ වාර්තා වන්නේ 5 ක් ලෙසිණි. නවසීලන්තයේ ජනගහනය මිලියන 5 කි.

කොරෝනා පාලනය සහ මර්දනය කිරීමට අග්‍රාමාත්‍යවරිය සමත් වීම හේතුවෙන් ඇගේ කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් වර්ධනය ඉහළ ගොස් ඇත. නවසීලන්ත දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, අද පැවැත්වෙන මහ මැතිවරණයෙන් ජැසෙන්ඩාගේ කම්කරු පක්ෂය ජයග්‍රහණය කරනු ඇත්තේ, තනිව රජයක් පිහිටුවීමට බහුතර බලය ද සමගින් බවය. කොරෝනා සාර්ථක ලෙස මර්දනය කර ගැනීමට ජැසෙන්ඩාගේ රජය සමත් වීම, ඇගේ ජයග්‍රහණයට එකම හේතුව වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ ජාතික පක්ෂයයි. මෙවර මැතිවරණය වෙනුවෙන් ජාතික පක්ෂය, ජැසෙන්ඩාට අභියෝග කිරීමට නව නායකයකු පත් කර ගෙන ඇත. කාන්තාවක වන ඇය 61 හැවිරිදි ජූඩිත් කොලින්ස්ය. කොලින්ස් පක්ෂ නායකත්වයට තෝරා ගැනුනේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසුවය. ඒ, පක්ෂයේ නායකත්වය දැරූ ටොඩ් මිලර්ගේ ඉවත්වීමත් සමගය.

ජැසෙන්ඩා එර්ඩර්න් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2017 වසරේ පැවැති මැතිවරණයෙනි. ඇය නායකත්වය දුන් කම්කරු පක්ෂයට හෝ කම්කරු පක්ෂයට අභියෝගයක් වූ ජාතික පක්ෂයට හෝ බහුතරය දිනා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් සාකච්ඡා මාර්ගයෙන් තවත් පක්ෂ හවුල් කර ගනිමින්, කම්කරු පක්ෂයට රජයක් පිහිටුවීමට හැකිවුණු අතර, ජැසෙන්ඩා නවසීලන්තයේ අගමැති ධුරයට පත්වුණු ළාබාලතම අග්‍රාමාත්‍යවරිය ද වූවාය.

ඕක්ලන්ඩ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS