ග්‍රීක මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය



ග්‍රීක මහ මැතිවරණයෙන්, අගමැති ඇලෙක්සි සිප්‍රාස් ප්‍රමුඛ ඔහුගේ පාලක වාමාංශික ‘සිරිසා’ පක්ෂය පරාජයට පත් කිරීමට, විපක්ෂ නායක කිරියාකෝස් මිට්සෝකාකිස් ප්‍රමුඛ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ‘නව ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂය සමත් විය.

ලැබූ ජය සමරමින්, පක්ෂ ආධාරකරුවන් අමතමින්, කිරියාකෝස් මිට්සෝකාකිස් කියා සිටියේ, රටේ ආර්ථිකය නංවාලීමටත්, නව ආර්ථික පෙරැළියක් කිරීමටත් තමන් සහ තම නව රජය පියවර ගන්නා බවය. ග්‍රීසිය යුරෝපයේ පමණක් නොව ලෝකයේ ද කැපී පෙනෙන තත්ත්වයකට පත් කිරීමට කටයුතු කරන බව ද කිරියාකෝස් මිට්සෝකාකිස් අවධාරණය කළේය.

51 හැවිරිදි කිරියාකෝස් මිට්සෝකාකිස් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙන්නේ 2016 වසරේ සිටය. එම වසරේ සිට මේ දක්වා ග්‍රීසියේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ ද මිට්සෝකාකිස්ය.

කිරියාකෝස් මිට්සෝකාකිස් ග්‍රීසියේ පරිණත දේශපාලනඥයෙකි. ඔහු ග්‍රීසියේ ප්‍රබල දේශපාලන පවුලක සාමාජිකයෙකි. මිට්සෝකාකිස්ගේ පියා 1990 සිට 1993 තෙක් ග්‍රීසියේ අගමැතිවරයා ලෙස කටයුතු කළ කොන්ස්තන්තිනොස් මිට්සෝකාකිස්ය. කිරියාකෝස් මිට්සෝකාකිස් හාවඞ් විශ්ව විද්‍යාලයෙන් මෙන්ම ඇනතන් විශ්ව විද්‍යාලයෙන් ද ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර විද්‍යාව සම්බන්ධයෙන් උපාධිධරයෙකි.

2008 වසරේ ඇමෙරිකාවෙන් ඇරැඹි ගෝලීය ආර්ථික අර්බුදය යුරෝපා රටවලට පැතිරිණි. 2009 දී, යුරෝපා රටවල් අතරින් ආර්ථික අර්බුදයට ලක් වී දරුණු ලෙස බැට කන්න වූයේ ග්‍රීසියයි. මුළු යුරෝපා රටවලට ග්‍රීසිය ප්‍රශ්නකාරී රටක් බවට පත් විය. ග්‍රීක රජයට වැටුප් ගෙවා ගැනීමට නොහැකි විය.

ග්‍රීසිය උග්‍ර ණය අර්බුදයකට ලක්වෙද්දී, ග්‍රීසියට ආධාර කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය සහ යුරෝපා මහ බැංකුව ඉදිරිපත් විය. හටගත් මූල්‍ය අර්බුදය ග්‍රීක සමාජයට විශාල බලපෑමක් කරන්න වූ අතර, 2014 පැවැති මහ මැතිවරණයේදී, ‘සිරිසා’ වාමාංශික පක්ෂය බලයට පත්වූයේ පාර්ලිමේන්තුවේ ආසන 300 න් 149 ක් දිනා ගනිමිනි. ඒ අනුව, ‘සිරිසා’ පක්ෂයේ නායක ඇලෙක්සි සිප්‍රාස්ට අගමැති ධුරය හිමිවිය. 2014 දී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 76 ක් පමණි.

මෙවර පැවැති මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පත් වූයේ පාර්ලිමේන්තුවේ ආසන 300 න් ආසන 154 ක් දිනා ගනිමිනි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 39 කි. සිරිසා දේශපාලන පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 37 ක ප්‍රතිශතයක් යැයි ද පැවැසෙයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නව ආණ්ඩුවක් පිහිටුවනු ඇත්තේ සෙසු පක්ෂවල සහයෝගයක් නොමැතිවය. පරාජය බාර ගනිමින්, අගමැති සිප්රාස්, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කිරියාකෝස් මිට්සෝකාකිස් ට සුබ පතා ඇත.

ඇතන්ස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS