කොරෝනා හැදුණු බෙල්ජියම් කුමරු



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ බෙල්ජියම් යොචිම් රජ කුමරු පසුගිය දා ස්පාඤ්ඤයට ගිය අවස්ථාවේ සාදයකට ද සහභාගී වී ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කළේය.

ස්පාඤ්ඤයේ දකුණු දෙසින් පිහිටි කොර්ඩෝබා නගරයේ පැවැති මෙම සාදයට යෑම සම්බන්ධයෙන්, 28 හැවිරිදි කුමරු සමාව ඇයැද සිටියේය. මෙම සාදය පවත්වා ඇත්තේ නිරෝධායන නීතිරීති උල්ලංගනය කරමිනි. කුමරු ඊට සහභාගී වී ඇත්තේ ද නිරෝධායන නීති ගැන කිසිදු තැකීමක් නොකරය.

සාදයට සහභාගී වූ අවස්ථාවේදී පවා කුමරු කොරෝනා ආසාදිතයකු වී සිටි අතර, රෝග ලක්ෂණ පහළ වී ඒ බව තහවුරු වූයේ ඉන්පසුවය. කුමරුන් සමඟ තවත් 27 දෙනකු සාදයේ සිටි බව සෞඛ්‍ය අංශ සහ පොලිසිය මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

නිරෝධායන නීති කඩ කරමින් එම සාදයට සහභාගී වුණු පුද්ගලයන්ට යූරෝ 10,000 (ඇමෙරිකන් ඩොලර් 11,100) ක දඩයක් නියම කෙරුණු බව ද වාර්තා වේ. එමෙන්ම සාදයට සහභාගී වූ පිරිස සහ ඔවුන්ගේ පවුලේ අය ද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව ද ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසා තිබේ.

යොචිම් කුමරු බෙල්ජියම් පිලිප් රජුගේ සොහොයුරිය ඇස්ටි්‍රඞ් කුමරියගේ පුත්‍රයාය. බෙල්ජියම් රජ කිරුළේ 10 වැනි උරුමකරු ඔහුය. ඔහු බෙල්ජියමේ සිට ස්පාඤ්ඤයට පැමිණ ඇත්තේ පසුගිය 26 වැනිදාය. දින 14 ක් නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ කුමරුන්ට උපදෙස් දී තිබුණු නමුත් කුමරු ඊට දින දෙකකට පසු එම සාදයට සහභාගී වී වූ බව පැවැසෙයි. ‘කොවිඞ් 19’ ආසාදිත කුමරුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කර තිබේ.

යුරෝපා රටවල් අතරින් ‘කොවිඞ් 19‘ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ රටක් වන්නේ ස්පාඤ්ඤයයි. පසුගිය 31 වැනිදා වනවිට ස්පාඤ්ඤයේ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූයේ 2,39,479 ක් ලෙසය. මරණ 27,127 ක් බව පැවැසිණි. ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවීම කෙමෙන් අඩු වෙද්දී, අදියරෙන් අදියර රට විවෘත කිරීමට ස්පාඤ්ඤ රජය පියවර ගත්තේය. ඒ, සෞඛ්‍ය උපදෙස් අනුවය.

මැඞ්රිඞ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS