කොරෝනා බිලිගත් ගණන 1,383 යි



ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් ‘කෝවිඞ් 19’ යන නාමයෙන් හඳුන්වන නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට (14) වනවිට 1,383 තෙක් ඉහළ ගොස් තිබුණි.

වයිරසය ආසාදිතයන් ගණන 64,437 ක් යැයි වාර්තා විය. මියගිය සහ ආසාදිතයන්ට අමතරව, වයිරසය සුව වී රෝහල්වලින් පිටවී ගිය ගණන 6,919 ක් ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

‘කෝවිඞ් 19’ වයිරසය ලොව පැතිර යෑම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද චීනයෙනි. වයිරසය මේ වනවිට චීනයේ සෑම පළාතකටම පැතිර ගොස් ඇතැයි ද පැවැසෙයි.

චීනයට අමතරව, ඇමෙරිකාව, කැනඩාව, හොංකොං, රුසියාව, තායිලන්තය, මැකාව්, ඔස්ටේලියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, තායිවානය, ප්‍රංශය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, කාම්බෝජය, ජර්මනිය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ෆින්ලන්තය, ස්වීඩනය, අයිවරි කෝස්ට්, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයෙන් වයිරස ආසාදිතයන් හමුවී ඇත.

චීනයෙන් පිට විදේශවල මරණ වාර්තා වී ඇත්තේ පිලිපීනයෙන් හොංකොං දේශයෙන් සහ ජපානයෙන් පමණි. ජපානයෙන් පළමු කොරෝනා මරණය වාර්තා වූයේ ඊයේ (13) ය.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS