කොංග්‍රස් බලය අභිබවා තාප්පය හදනවා



තමාට හිමි බලතල අනුව, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) අභිබවා යමින්, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා ප්‍රාකාරය ඉදිකිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, ටෙක්සාස් ජනපදයේ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවට නුදුරින්, රියෝ ග්‍රාන්දේ නිම්නයේ මැක් ඇලන් දේශසීමා පොලිස් මුරපොළ සහ පොලිස් ස්ථානයට පැමිණ දේශසීමා ආරක්ෂක නිලධාරීන් හමුවුණු අවස්ථාවේදීය.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීම ට්‍රම්ප්ගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවකි. අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් හේතුවෙන් ඇමෙරිකාවේ අපරාධ ඉහළ යන බව ට්‍රම්ප් පෙන්වා දෙයි. අපරාධ අවම කරමින්, ඇමෙරිකානුවන් ආරක්ෂා කිරීමටත් ඇමෙරිකානුවන්ගේ ස්වෛරීත්වය සුරැකීමටත් දේශසීමාවේ ප්‍රාකාරයක් හෝ වැටක් හෝ ඉදි කළ යුතු බව ට්‍රම්ප්ගේ විශ්වාස වී ඇත. දේශසීමා හරහා අනවසරයෙන් ඇමෙරිකාවට පැමිණි අපරාධ කල්ලි සතුව තිබුණු අවි ආයුද, මත් කුඩු, මුදල් ආදිය මැක් ඇලන් පොලිස් ස්ථානයේ දී මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කෙරුණි.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට යෝජිත ප්‍රාකාරය වෙනුවෙන් මුදල් අය කර ගැනීම මෙක්සිකෝවෙන් සිදු කරන බව ට්‍රම්ප් සිය මැතිවරණ රැළිවලදී පවා පවසා තිබුණි. ඒ සම්බන්ධයෙන් ඔහු යළිත් වරක් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය.

‘දේශසීමාවේ තාප්පයක් හෝ වැටක් හෝ නොමැතිව මෙම අර්බුදය විසඳන්න පුළුවන් කමක් නැහැ. එය කළ යුතුමයි. තාප්පය සඳහා මෙක්සිකෝවෙන් මුදල් ලබා ගන්නා බව මා පැවැසුවා. මා අදහස් කළේ සියලුම මුදල එකපාරින් අය කර ගැනීමක් නොවෙයි. එය ක්‍රමාණුකූලව වසර කිහිපයකින් සිදුවේවි. එය සිදුවනු ඇත්තේ ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර අලුතින් අත්සන් කළ වෙළෙඳ ගිවිසුම හරහායි’ යැයි ට්‍රම්ප් පැවැසීය.

‘හදිසි තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කරමින්, කොංග්‍රසයේ තීන්දු තීරණවලට එරෙහිව යෑමට ඇමෙරිකා ජනාධිපතිට බලය ඇත. ඒ, යුදමය තත්ත්වයක් ඇතිවිට හෝ ජාතික මට්ටමේ ආපදා තත්ත්වයක් හෝ එවැනි හදිසි තත්ත්වයක් ඇති අවස්ථාවලදීය. එසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින්, කලින් වෙන් කරන ලද මුදල් යොදා ගනිමින් ට්‍රම්ප්ට ඔහු විසින් යෝජනා කරනු ලැබූ මෙම ප්‍රාකාරය ඉදි කිරීම කළ හැකිවෙයි.

කෙසේ නමුත් ‘හදිසි තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කරමින්, ජනාධිපතිවරයා ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයට අභියෝග කිරීම, ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කිරීමට හේතු වනු ඇතැයි ඇමෙරිකා නීති විශ්ලේෂකයෝ පැහැදිලි කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් පවසන අන්දමට ඔහු විසින් යෝජනා කරනු ලැබූ දේශසීමා ප්‍රාකාරය වෙනුවෙන් වැයවනු ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 6.5 කි. මෙය අයවැය ලේඛනයට ඇතුළත් කර, පසුගිය දෙසැම්බර් 20 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. එහිදී ප්‍රාකාරය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ප්‍රතික්ෂේප විය. ඒ අනුව අයවැය සම්මත කර ගැනීමට ද නොහැකි විය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුව නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. කිහිප දෙනකුගෙන් විරෝධය එල්ල වුවත් රිපබ්ලිකන් පාක්ෂිකයන් බොහෝදෙනකු දේශසීමා ප්‍රාකාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට සහාය පළ කිරීමට ප්‍රතිඥා දී ඇත.

අයවැය සම්මත කර ගැනීමට නොහැකි වූ හෙයින් පසුගිය දින 20  ක කාලය පුරාවට ඇමෙරිකා රජයේ සියයට 25 කට වැඩි ප්‍රමාණයක් අකර්මණ්‍යය වී ඇත. මේවනවිට ලක්ෂ 8 කට ආසන්න ෆෙඩරල් (රාජ්‍ය) සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමට හැකියාවක් ලැබී නැත. රාජ්‍ය ආයතන රැසක කටයුතු අක්‍රිය වී ඇති අතර, ඇතැම් ආයතනවල සේවක සේවිකාවන්ට තාවකාලික නිවාඩු ලබා දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS