කුල ගැටුමකින් 15 ක් මරුට



ඉන්දියාවේ කුල දෙකක් අතර හටගත් ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෝ 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 50 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කලහකාරීන් ගණන 100 කට වැඩිය.

ගැටුම් පවතින්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත කේන්ද්‍රකොට ගනිමිනි. මේ වනවිට ඉන්දියාවේ වෙළෙඳ අගනුවර වන මුම්බායි තෙක් ගැටුම් පැතිර ගොස් ඇතැයි ද වාර්තා වේ. කලහකාරී පිරිස් වාහන ගිනිතබමින් දේපොල හානි සිදු කර ඇතැයි ද මාධ්‍ය පවසයි.

කලහකාරී පිරිස් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යොදවා ඇති අතර, පොලිසිය කලහකාරීන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි.ගැටුම් නිර්මාණය වූයේ මහාරාෂ්ට්‍රයේ ප්‍රබලතම කුලය ලෙස සැලකෙන ‘මරාතාස්’ සහ ‘දාලිත්’ කුලයේ සාමාජිකයන් අතරේය.

ගැටුමට මුල් වූයේ ‘දාලිත්’ ගැටවරයන් තිදෙනකු අතින් ‘මරාතාස්’ කුලයේ 14 හැවිරිදි දැරියක අතවරයට ලක් වීමේ සිදුවීමකි. එය සිදුවී ඇත්තේ අහමදාබාද් දිස්ත්‍රික්කයේ කොපාර්ඩි නමැති ගම්මානයේ පසුගිය ජූලි මාසයේදීය.

එම සිදුවීමෙන් පසු ඊට විරෝධය දක්වමින් සහ ඒ සම්බන්ධයෙන් පොලිසිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම පෙන්වා දෙමින්, ‘මරාතාස්’ වැසියෝ පසුගිය ඉරිදා (31) පූනේ නුවරදී නිහඬ රැළියක් පැවැත් වූහ. නිහඬව ඇරැඹි එම විරෝධතා රැලිය අවසන් වූයේ ගැටුම්වලිනි.

ඊයේ වනවිට කුල ගැටුම දේශපාලන ගැටුමක් බවට පරිවර්තනය වී ඇති අතර ‘මරාතාස්’ සාමාජිකයන්ට දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී දේශපාලන කණ්ඩායම්වල සහාය හිමි වී තිබේ. පූනේහිදී ආරම්භ වුණු ගැටුම් මුම්බායි ඇතුළු නගර රැසකට පැතිර යන්න වූයේ දේශපාලනඥයන්ගේ උසි ගැන්වීම් නිසා යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS