කිම් ජොන් උන් චීනයේ



චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඇරැයුමකට අනුව, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ බිරිඳ රී සොල් ජූ විශේෂ නියෝජිත පිරිසක් ද පිරිවරා ගනිමින් චීනයේ බීජිං අගනුවර බලා පැමිණියේය.

සුපුරුදු පරිදි, උතුරු කොරියාවේ සිට දේශසීමාව හරහා ඩංග්ඩොංග් දේශසීමා නගරය පසු කරමින්, උතුරු කොරියා නායකයා, බිරිඳ සහ විශේෂ නියෝජිත පිරිස චීනයේ බීජීං බලා පැමිණියේ විශේෂ දුම්රියකිනි.

නායක කිම් ජොන් උන් ඇතුළු පිරිස බීජීං පැමිණෙන බව චීන රජය කල්තියා දැනුම් දී නොතිබුණි. ඒ, ආරක්ෂක හේතූන් නිසාය. එහෙයින්, කිම් ජොන් උන්ගේ බීජීං සංචාරය ගැන චීන මාධ්‍ය දැනගත්තේ හදිසියේය.

උතුරු කොරියා නායකයා සහ බිරිඳ ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ කටයුතු කළහ. බීජීං අගනුවර සංචාරයට සමගාමීව කිම් ජොන් උන් සිය 35 වැනි උපන් දිනය ද සැමරුවේ යැයි උතුරු කොරියා රජය කියයි. උතුරු කොරියා රජය කිම් ජොන් උන්ගේ උපන් දිනය අනාවරණය කළ පළමු අවස්ථාව මෙයයි.

චීනය සහ උතුරු කොරියාව අසල්වැසි රටවල්ය. බටහිර සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව අතීතයේ සිට යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වූයේ චීනය සමඟ පමණි.  කිම් ජොන් උන් පළමු වරට විදෙස් සංචාරයක නියැලෙමින් පැමිණියේ ද චීනයටය. ඒ පසුගිය වසරේය. විශේෂ දුම්රියකින් පැමිණි එම සංචාරය ද ඉතා රහසිගත අන්දමින් පැවැත්විණි.

නායක කිම් ජොන් උන් චීනයේ බීජිං බලා පැමිණියේ, ඉදිරියේ දී ඔහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමටය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පැවැත්වෙන දෙවැනි හමුව මෙය වනු ඇත. පළමු හමුව පසුගිය වසරේ ජූනි මාසයේ සිංගප්පූරුවේ දී පැවැත්විණි.

එම හමුව සිදුවූයේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත් වීමෙනි. සිංගප්පූරුවේදී ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට පෙර, උතුරු කොරියා නායක කිම් ජොන් උන් චීනයට ගොස් චීන ජනාධිපති හමුවිය. සිංගප්පූරුව බලා යෑමට උතුරු කොරියා නායකයාට ගුවන් යානා පවා ලබා දුන්නේ චීනයයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ පැවැත්වෙන දෙවැනි හමුවට තමන් සූදානමින් සිටින බවත්, උතුරු කොරියා සහ ඇමෙරිකා ආරක්ෂක අංශ මැදිහත් වී, එම හමුව පැවැත්වීමට සුදුසු ස්ථානයක් මේ වනවිට සොයා බලන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමය වෙනුවෙන් කැපවී සිටින බවත්, න්‍යෂ්ටික අවිහරණ කටයුතු දිගටම සිදු කරමින් පවතින බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS