කැලිෆෝනියාට දුන් මුදල් ට්‍රම්ප් ආපසු ඉල්ලයි



අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා කැලිෆෝනියා ජනපදයට ලබාදුන් ඩොලර් මිලියන 929 ක මුදල ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආපසු ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් නුවර සිට සැන් ෆ්‍රැන්සිස්කෝ තෙක් දිවෙන එම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අසාර්ථක එකක් බවත්, ඒ සඳහා තම පරිපාලනය කැලිෆෝනියා ජනපදයට දුන් මුදල ‘නාස්තියක්’ බවත් පෙන්වා දෙමින් ජනපති ට්‍රම්ප් එම මුදල ආපසු ලබා දෙන්නැයි පවසා තිබේ.

ඇමෙරිකා ජනාධිපති සහ කැලිෆෝනියා ජනපදය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත. ඒ, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීමට, ජනපති ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසුවය. ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් සිය විධායක බලතල අතට ගත්තේය.  ඒ අනුව, කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුව) තිරණය අභිබවා තාප්පය ඉදිකිරීම ට්‍රම්ප්ට කළ හැකිය.

ජනපතිවරයා මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේත් සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලත් දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

දේශසීමා තාප්පය ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රැස් කර ගැනීමට, ජනාධිපති ට්‍රම්ප්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් සිය විධායක බලතල අතට ගැනීමට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවේ ජනපද 16 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත.

නඩු පැවැරීම සිදුවූයේ කැලිෆෝනියා ජනපදයේ මූලිකත්වයෙනි. කැලිෆෝනියා ජනපදය අනුගමනය කරමින්, කොලරාඩෝ, කනෙනිකට්, ඩෙලවෙයා, හවායි, ඉලිනෝයි, මේන්, මේරිලන්ඞ්, මිචිගන්, මිනසෝටා, නෙවාඩා, නිව් ජර්සි, නිව් මෙක්සිකෝ, නිව්යෝක්, ඔරෙගන් සහ වර්ජීනියා යන ප්‍රාන්ත ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව නඩු පැවැරීය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS