කළු පෙට්ටිය හමුවෙලා



හැට දෙදෙනකුට මරු කැඳවමින් මූදට කඩා වැටුණු ඉන්දුනීසියානු මගී ගුවන් යානයේ පියසැරි දත්ත අඩංගු කළු පෙට්ටිය සොයා ගැනීමට ඉන්දුනීසියා නාවික හමුදාව සමත් වූ බව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ ‘ශ්‍රී විජය’ ගුවන් සේවයට අයත් බෝයිං 737 යානය, රේඩාර්වලින් අතුරුදන් වූයේ පසුගිය සති අන්තයේය. යානය රට අභ්‍යන්තර ගුවන් යානයකි.

පසුගිය 9 වැනිදා යානය ජකර්තා අගනුවරින් ගුවනට නැගුණේ ඉන්දුනීසියාවට අයත් බෝර්නියෝ බලා යෑමටය. ඉන්දුනීසියාව දූපත් රැසකින් සැදුම්ලත් රාජ්‍යයකි.

ගුවන්ගතවී මිනිත්තු 4 ක් යද්දී යානය රේඩාර් තිරයෙන් අතුරුදන් විය. සෝදිසි මෙහෙයුම් දියත් කරද්දී යානයේ සුන්සුන් ජාවා මුහුදින් හමුවිය. සිරුරු කොටස් ද සොයා ගැනීමට මේවනවිට හැකියාව ලැබී ඇත. කළු පෙට්ටිය සොයා ගැනීමට හැකිවූයේ නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායමය.

‘කළු පෙට්ටිය’ යනුවෙන් හැඳින්වෙන මෙම උපාංගය දීප්තිමත් තැඹිලි පැහැයක් ගනී. ගුවන් යානයක නියමුවන්ගේ කතාබහේ සිට යානයේ සියලුම පියසැරි දත්ත මෙහි පටිගත කෙරේ.

‘කළු පෙට්ටිය’ නිපදවා ඇත්තේ ගුවන් යානයක් කඩා වැටී පුපුරා ගියත් හානි නොවන ලෙසිණි. මෙහි පැහැය ය දීප්තිමත් තැඹිලි පැහැයක් ගන්නේ අනතුරට පත්වන යානයේ සුන්බුන් අතරින් පැහැදිලිව එය සොයා ගැනීමටය.

කළු පෙට්ටිය සොයා ගැනීමෙන් පසු යානය අනතුරට පත් වූයේ  කෙසේදැයි යන්න සොයා ගැනීමට හැකි වනු ඇතැයි ඉන්දුනීසියා බලධාරීන්ගේ විශ්වාසය වී තිබේ.

කඩා වැටුණු යානයේ එක් නියමුවකු වන්නේ 54 හැවිරිදි අෆ්වාන් ය. ඔහු ගුවන් නියමුවකු ලෙස සේවය කරන්නේ 1987 වසරේ සිටය.

ජකර්තාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS