කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්



පාකිස්තානයේ කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ලට අද (29) උදෑසන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ප්‍රහාරය සඳහා ගිනි අවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ ත්‍රස්තයන් සිවු දෙනකු පැමිණ ඇත. මොවුන් වෙඩි තබමින්, අත්බෝම්බවලින් දමා ගසමින් ගොඩනැගිල්ලට පහර දුන් බව පොලිසිය පවසයි.

ත්‍රස්තයන් කළ ප්‍රහාරයෙන් මියගියේ කොටස් වෙළෙඳපොළ ආරක්ෂාවට යොදා සිටි ආරක්ෂක නිලධාරීන් සිවුදෙනකු, පොලිස් නිලධාරියකු සහ සිවිල් වැසියෙකි.

කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් තුළය. පාකිස්තාන පෞද්ගලික බැංකු සියල්ල පිහිටා ඇත්තේ ද මෙම ආරක්ෂිත කලාපයේය.

ප්‍රහාරය සඳහා ත්‍රස්තයන් සිවුදෙනා පැමිණ ඇත්තේ රිදී පැහැති කොරෝලා වර්ගයේ මෝටර් රථයකිනි. ප්‍රහාරය සැලවුණු සැණින්, කරච්චි පොලිසි නිලධාරීන් සහ ත්‍රස්ත මර්දන විශේෂ ඒකකයේ නිලධාරීහු වහා එම ස්ථානයට ගියහ.

එවිට ප්‍රහාරයට පැමිණි සිවුදෙනා සහ පොලිසිය අතර දරුණු අවි ගැටුමක් සිදුවුණු බවත්, පොලිස් වෙඩි පහරින් ත්‍රස්තයන් සිවුදෙනා ජීවිතක්ෂයට පත්වුණු බවත් කරච්චි පොලිස්පති ගුලාම් නාබී මොමොන් පවසා තිබේ.

‘පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වුණා. ඔවුන් සන්නද්ධ වී සිටියේ ස්වයංක්‍රීය නවීන පන්නයේ ගිනි අවිවලින්. පොලිසිය කළ වෙඩි තැබීම් හමුවේ ත්‍රස්තවාදීන් අසරණ වුණා. ඔවුන් මරා දැමීමට පොලිස් නිලධාරීන් සමත් වුණා.’ යැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ප්‍රහාරයත් සමඟ පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළ කටයුතු සියල්ල අඩපණ වූ අතර ගොඩනැගිල්ලේ සිටි පිරිස් මහත් සේ බියට පත් වී සැඟවීමට උත්සහ ගත් බව පුවත් සේවා වාර්තා කර තිබේ.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිදු ත්‍රස්ත සංවිධානයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන නැතැයි ද පැවැසෙයි.

කරච්චි නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS