එන්නතක් තිබුණු පළියට බේරෙන්න බෑ



සාර්ථක එන්නතක් තිබුණත්, ‘කොවිඞ් 19’ වයිරස වසංගතය මර්දනය කිරීමට එය ප්‍රමාණවත් නොවන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැහැදිලි කළේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති, කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

“කොරෝනා වයිරස වසංගතය එන්නතකින් පමණක් නැවැත්විය හැකි එකක් නොවෙයි. සාර්ථක එන්නතක් සොයා ගැණුනත්, එය ලොව සෑම කෙනකුටම ලබා දීමට වසර කීපයක් ගතවේවි. එහෙයින් එන්නතක් තිබුණත් නැතත් ලොව සෑම දෙනාම කළ යුත්තේ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපඳිමින් වයිරස ආසාදිතයකු නොවී සිටීමට වගබලා ගැනීමයි” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවැසුවේය.

මේ වනවිට ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ යන සමාගම් එක් වී සියයට 90 ක් සාර්ථක එන්නතක් නිපදවා ඇත. රුසියාව පවසා ඇත්තේ ඔවුන්ගේ එන්නත සියයට 92 ක් සාර්ථක බවය. ඊට අමතරව ඊයේ (16) දිනයේ වාර්තා වූයේ ඇමෙරිකාවේ ‘මොඩර්නා’ සමාගම ද සියයට 95 ක් සාර්ථක එන්නතක් නිපදවා ඇති බවය.

‘බයෝ ඇන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ යන සමාගම් එක් වී නිර්මාණය කළ එන්නතට වඩා ‘මොඩර්නා’ එන්නත සාර්ථක බවත්, එය පහසුවෙන් ගබඩා කර තැබිය හැකි බවත් පැවැසෙයි. රුසියාවේ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධිනයේ අවධානයට ලක් වී නැත.  ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත මෙන්ම ‘මොඩර්නා’ එන්නත ද අතුරු ආබාධ කිසිවක් නොමැති බව ද පැවැසෙයි.

මේ අතර අද (17) වනවිට ලොව පුරා ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 55,349,954 දක්වා ඉහළ ගියේය. ලොව පුරා සමස්ත මරණ වාර්තා වූයේ 1,332,328 ක් ලෙසය. තවමත් ලොව වැඩිම මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම සහ ‘ෆයිසර්’ සමාගම එක් වී නිපදවූ එන්නතත්, ‘මොඩර්නා’ සමාගම නිපදවූ එන්නතත් පළමුවෙන් ලැබෙනු ඇත්තේ ඇමෙරිකානුවන්ටය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS