උදර්පණ නීතියට එරෙහිව වැසියෝ වීදි බසිති



හොංකොං පාලකයන් විසින් හඳුන්වා දෙනු ලැබූ නව උදර්පණ (පිටුවහල් කිරීමේ) නීතියට හොංකොං වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර, එම නව නීතියට එරෙහිව දැවැන්ත විරෝධතා රැළි පැවැත්විණි.

විරෝධතා සඳහා 2,40,000 ක් සහභාගී වුණැයි පොලිසිය පවසයි. කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන්ට කැරැලි මර්දන පොලිසිය හරස් වුණු අතර, එම අවස්ථාවේදී දෙපිරිස අතර දරුණු ගැටුම් හටගත්තේය.

විරෝධතාකරුවන්, පොලිස් නිලධාරීන් පමණක් නොව මාධ්‍යවේදීන් පවා එම ගැටුම්වලින් තුවාල ලැබුවේ යැයි වාර්තා වේ. වසර 20 කට පසු හොංකොං දේශයේ පැවැති දැවැන්තතම විරෝධතාව මෙය ලෙස සැලකෙයි.

විරෝධතාකරුවන් උත්සාහ ගත්තේ හොංකොං ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදීමටය.
හොකොං ව්‍යාපාරික ප්‍රජාව, නීතිවේදීන්, ශිෂ්‍යයන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංගම් පමණක් නොව ආගමික කණ්ඩායම් ද සුදු ඇඳුමින් සැරැසී සටන් පාඨ කියමින් විරෝධතාවට එක් වූ බව පැවැසෙයි.

මෙම නව උදර්පණ නීතියට අනුව, හොංකොං අපරාධ සැකකරුවන් පමණක් නොව අපරාධ චෝදනා එල්ල වී ඇති හොංකොං වැසියන් පවා චීනයට ගෙන්වා ගෙන දඩුවම් ලබා දීමට චීන රජයට හැකිවෙයි.

එපමණක් නොව, හොංකොං හි චීන විරෝධී දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය කිරීමට ද මෙම නව නීතිය හරහා චීනයට හැකියාව ලැබේ. මෙම නව උදර්පණ නීතිය සම්බන්ධයෙන් ලොව ප්‍රධාන පෙළේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිව ආයතන සහ ක්‍රියාකාරීන් ඔවුන්ගේ විරෝධය පළ කර තිබේ.

හොංකොංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS