උතුරු කොරියා නායකයා සමඟ කතා කරන්න සූදානම්



උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ යහපත් සබඳතා වර්ධනය වූයේ තම මැදිහත් වීමෙන් බවත්, දකුණු කොරියාව හරහා තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

මේ වනවිට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් කළ ආරාධනය පිළිගනිමින්, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු මඟහරවා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් දකුණු කොරියාවට දන්වා ඇත. එපමණක් නොව ලබන පෙබරවාරි 9 වැනිදා දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට සහභාගී වෙන්නැයි දකුණු කොරියාව උතුරු කොරියාවට කළ ආරාධනාව උතුරු කොරියාව විසින් පිළිගනු ලැබ ඇත.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් පවසන්නේ දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර ඇරැඹි මෙම යහපත් සබඳතා සීත ඔලිම්පික් උලෙළෙන් පසුවත් නොවෙනස්ව පැවැත්වෙනු ඇතැයි තම අපේක්ෂාව බවය.

අර්බුදයට ලක් වුණු උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් පොදු විසඳුමකට යෑමට තමන් සූදානම් වන බව ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්තිවලට ගරු කරමින්, සාකච්ඡා පැවැත්වීමට තමන් එකඟ යැයි නායක කිම් ජොන් දැනුම් දුන්නේය. ඒ අනුව, උතුරු කොරියාවේත් දකුණු කොරියාවේත් නියෝජිතයන් දෙරටටම පොදු, ‘පැන්මුන්ජෝන්’ දේශසීමා සාම ගම්මනයේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. මේ අයුරින් අවසන් වරට සාකච්ඡා පැවැත්වූයේ 2015 දීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS