උතුරු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්



උතුරු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය ඉරිදා (10) පැවැත්වුණු බවත්, බලයේ සිටින කම්කරු පක්ෂ නියෝජිතයන් නිතරගයෙන් යළි බලයට පත් වුණු බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

උතුරු කොරියානු පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ, ‘උත්තරීතර ජනතා මන්ත්‍රණ සභාව’ යන නමිනි. මැතිවරණයක් මගින් උත්තීතර මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කර ගැනීම සෑම වසර පහකට වරක්ම සිදුවන අතර, වයස අවුරුදු 17 වැඩි සැවොම ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇත. නියෝජිතයන් 687 දෙනකු තෝරා පත් කර ගැනීමට මැතිවරණය පැවැත්විණි.

සෑම වසරකම ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය සියයට සියයකට ආසන්න වන අතර, මෙවර එම ප්‍රතිශතය සියයට 99.99 කි. උතුරු කොරියාවේ රාජ්‍ය පුවත් සේවය වන ‘කේ.සී.එන්.ඒ.’ වාර්තා කළේ විදේශගතව සිටින සහ රැකියා කරන උතුරු කොරියානුවන්ට මැතිවරණයට සහභාගීවීමට නොහැකි වුණු බවය.

උතුරු කොරියාවේ නායකයා ලෙස කිම් ජොන් උන් එම ධුරයට පත් වූ දා සිට උත්තරීතර ජනතා මන්ත්‍රණ සභාවේ ආසනයක් හෙබවීය. ඒ, උතුරු කොරියානු කම්කරු පක්ෂයේ සභාපති ධුරය දරමින්, රටට නායකත්වය දෙමිනි.

මෙවර කිම් ජොන් උන්ගේ නම අපේක්ෂකයන් ලේඛනයේ නොතිබුණු බවත්, කිම් ජොන් උන් ආසනයක් වෙනුවෙන් තරග නොකළ බවත් එරට පුවත් සේවා පෙන්වා දෙයි.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙය උතුරු කොරියා දේශපාලනයේ සිදුවුණු පෙරැළියක් කියාය. උතුරු කොරියා දේශපාලන විශ්ලේෂක රේචල් මින්යොංග් ලී කියා සිටියේ, සෙසු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජනාධිපති පාර්ලිමේන්තුවේ අසුනක් වෙනුවෙන් තරග නොකරන බවත්, උතුරු කොරියාව ද කෙමෙන් කෙමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වෙමින්, නව දේශපාලන ක්‍රම අනුගමනය කිරීමට උත්සාහ ගන්නා බවය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් තරග නොකළත්, කිම් ජොන් උන්ගේ සොහොයුරිය කිම් යෝ ජොන්ග් ආසනයක් වෙනුවෙන් තරග කළ බවත් ඇය ජයග්‍රහණය කළ බවත් පැවැසෙයි.

කිම් ජොන් උන්ගේ බාල නැගණිය වන කිම් යෝ ජොන්ග් පාර්ලිමේන්තුවේ නියෝජිතවරියක බවට පත් වී කටයුතු කරන්නේ 2014 වසරේ සිටය. නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස සැලකෙන්නේ කිම් යෝ ජොන්ග් ය. කිම් ජොන් උන් නියෝජනය කරමින්, විදෙස් සංචාරවල නියැලෙන්නේ ද කිම් යෝ ජොන්ග්.

ඉකුත් වසරේ සිංගප්පූරුවේ දී ඇමෙරිකා ජනාධිපති සහ කිම් ජොන් උන් අතර පැවැති හමුවටත්, මීට සති කීපයකට පෙර, වියට්නාමයේ හැනොයි අගනුවර පැවැති ට්‍රම්ප් සහ කිම් හමුවටත් කිම් යෝ ජොන්ග් සහභාගී වූවාය.

උත්තරීතර ජනතා මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගැනීමට පැවැත්වෙන මෙම මැතිවරණය හුදෙක් විහිළුවක් බවත්, සදාකල් බලයේ සිටින කම්කරු පක්ෂය ඔවුන්ගේ පාලනයට නෛතික අගයක් එක් කිරිමට ගන්නා උත්සාහයක් යැයි බටහිර රටවල් චෝදනා නගයි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාම මාවතට පිවිස සිටින අතර ඔහු න්‍යෂ්ටික අවිහරණයක් සිදු කරන බවට පොරොන්දුවක් ද දී ඇත.

යොංග්යැංග්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS