ඉස්ලාමාබාද් නුවර හින්දු කෝවිලක්



මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර හින්දු කෝවිලක් ඉදි කිරීමට පාකිස්තාන රජය සැරැසෙයි.

මෙම කෝවිල සහ ඊට අදාල සියලු ගොඩනැගිලි ඉදි කෙරෙන්නේ පාකිස්තානයේ සුළු ජාතික හින්දු ප්‍රජාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. හින්දු කෝවිලේ ඉදිකිරීම් සියල්ල සිදුවන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයේ අනුග්‍රහයෙනි.

‘ශ්‍රී ක්‍රිෂ්ණා මන්දිර්’ යන නමින් නම් කළ මෙම හින්දු කෝවිලට අමුත්තන් වෙනුවෙන් ශාලාවක්, ආදාහනාගාරයක්, ප්‍රජා ශාලාවක් සහ රථගාලයක් ද අයත් වෙයි. ‘ශ්‍රී ක්‍රිෂ්ණා මන්දිර්’ කෝවිල ඉදිවනු ඇත්තේ වර්ග කිලෝ මීටර් 2,023 ක ප්‍රදේශයකය.

මෙම හින්දු කෝවිල ඉදිකිරීමට සැලැසුම් සකස් කෙරුණේ 2017 දීය. එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ නවාස් ෂරීෆ් ය. කෙසේ නමුත් පරිපාලන ගැටලු මුල්කොට ගනිමින්, දිනෙන් දින ඉදි කිරීම් ප්‍රමාද වී ඇත.

කෙසේ නමුත් වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් උපදෙස් දී ඇත්තේ, ගැටලු සියල්ල කඩිනමින් විසඳමින්, හින්දු කෝවිල සහ ඊට අදාල ගොඩනැගිලි සියල්ල ඉදි කරන ලෙසය. ඉදිකිරීම් කටයුතු මේ වනවිට ලහිලහියේ ආරම්භ වී ඇත්තේ එහෙයිනි.

පාකිස්තාන හින්දු කවුන්සිලයට අනුව, එරට සිටින හින්දු වැසියන් ගණන මිලියන 8 කි. හින්දු වැසියන් බහුලව ජීවත් වන්නේ පාකිස්තානයේ සින්ද් පළාතේය. මෙම පළාත ඉන්දියාවට මායිම්ව පිහිටයි. ඉස්ලාමාබාද් අගනුවර සිටින හින්දු වැසියන් ගණන 3,000 කට වැඩි යැයි පැවැසෙයි.

‘පාකිස්තානයේ සුළුතරය වන හින්දු ප්‍රජාගේ විශේෂයෙන් ඉස්ලාමාබාද් අගනුවර හින්දු ප්‍රජාවගේ ඉල්ලීමට කන් දෙමින් පාකිස්තාන රජය මෙම හින්දු කෝවිල ඉදි කරනවා. මෙය සුවිශේෂී ඓතිහාසික අවස්ථාවක්.’ යැයි පාකිස්තානයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තු ලේකම්වරයකු ද වන ලාල් චාන්ද් මහ්ලී මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS