ඉන්දීය දේශපාලනයට අපරාධකරුවන් එපා



ඉන්දීය දේශපාලනයට අපරාධකරුවන් සහ මැරයන් පිවිසීම වැළැක්වීම සඳහා, දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව, අපරාධ පසුබිමක් ඇති අයකු යම් පක්ෂයක් විසින් අපේක්ෂකයකු ලෙස නම් කරනු ලබන්නේ නම් හෝ නම් කරනු ලැබ ඇත් නම්, එසේ අපරාධ පසුබිමක් ඇති අපේක්ෂකයන්ගේ සියලු විස්තර සහ එම තැනැත්තා අපේක්ෂකයකු ලෙස තෝරා ගන්නේ ඇයිදැයි යන්න වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට අනාවරණය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන ඇත්තේ, එරට  දේශපාලනයට අපරාධ පසුබිම් ඇති පුද්ගලයන් වැඩි වැඩියෙන් එක්වීම සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණ වාර්තාව පාදක කර ගනිමිණි. සමීක්ෂණ වාර්තාව අනුව, පසුගිය 2019 දී ප්‍රාන්තසභාවලටත්, ඉන්දීය පාර්ලිමේන්තුවටත් තේරී පත් වුණු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 43 ක් අපරාධ පසුබිම් ඇති පුද්ගලයන්ය. 2014 දී එය සියයට 34 ක ප්‍රතිශතයක් විය.

මෙම සමීක්ෂණ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වන සංවිධානයයි. මෙම සංවිධානය කළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් පවා ඉන්දීය දේශපාලනයට පිවිස සිටින බවය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS