ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ධුරයෙන් නෙරපයි



ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිය ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ජෝන් බෝල්ටන් සමඟ පැවැති මත ගැටුම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත්, ඉදිරි සතියේ ආරක්ෂක උපදේශක ධුරයට තමන් සුදුස්සකු නම් කරන බවත් ට්විටර් පණිවුඩයක් මගින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

‘මම ජෝන් බෝල්ටන්ට දැනුම් දුන්නා ධවල මන්දිරයට ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව. ඔහු ඉල්ලා අස්වීම මට බාර දුන්නා. බෝල්ටන්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් අපි අතරේ ගැටුම් ඇති වුණා. මම බොහෝ අවස්ථාවලදී බෝල්ටන්ට විරෝධය දැක්වූවා.’ ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

ට්‍රම්ප් ඉරානය, ඇෆ්ගනිස්තානය සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් ගත් තීරණවලට ආරක්ෂක උපදේශක ලෙස ජෝන් බෝල්ටන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තරයේ විරෝධය පළ කළේය. පසුගිය මාස කීපයේ ට්‍රම්ප් උත්සාහ ගත්තේ වසර 18 කට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් තලේබාන් අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමටය.

තලේබාන් ඇමෙරිකා සාම කතා අවසන් අදියරට පත්වෙද්දී, තලේබාන් සංවිධානයේ කැරැලිකාර කණ්ඩායම් ඇෆ්ගනිස්තානයේ බෝම්බ පුපුරුවන්න පටන් ගත්තේය. ඒ සමඟ ඇෆ්ගන් තලේබාන් සාම කතා අවලංගු කර දැමීමට ජනපති ට්‍රම්ප් තීරණය කළේය.

ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සිය ධුරයෙන් ඉවත් කිරීමට තලේබාන් ත්‍රස්ත සංවිධානය සමඟ පැවැත්වූ අසාර්ථක සාම කතා මූලික හේතුවක් වන්න ඇතැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS