‘හර්ඞ් ඉමියුනිටි’ ගැන දන්නවාද ?



චීනයෙන් ඇරැඹුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේවනවිට ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වී හමාරය. එක් ආසාදිතයකු තවත් දෙදෙනකු ආසාදිතයන් බවට පත් කරයි. ආසාදිතයන් දෙදෙනාගෙන් තවත් දෙදෙනකු ආසාදිතයන් බවට පත් වෙයි. වයිරසය ව්‍යාප්ත වෙන්නේ මේ අයුරිනි.

නිරෝධායන ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ මෙලෙස රෝගය පැතිරීම වැළැක්වීමටය. ‘නිවසින් පිට යන්න එපා’ යැයි රජය දැනුම් දුන් විට ඔබ නිවසේ රැඳී සිටිය යුතු වන්නේත්, ඔබ ආසාදිතයකු හෝ ආසාදිතයකු යැයි සැකයක් ඇති නම් නිරෝධායනය විය යුතු වන්නේත් මේ නිසාය.

‘කෝවිඞ් 19’ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත ප්‍රතිකර්මයක් සොයාගෙන නැත. ඇමෙරිකාව, ජර්මනිය සහ චීනය මේ වනවිට නව එන්නතක් නිර්මාණය කරමින් සිටී. ඇමෙරිකාව පසුගිය දා ඔවුන්ගේ එන්නත අත්හදා බැලුවේය.

‘කෝවිඞ් 19’ වයිරසය සෙසු කොරෝනා වයිරස වන ‘සර්ස්’ සහ ‘මර්ස්’ මෙන් නොව, දරුණු ලෙස පැතිරෙයි. වයිරසය නාසයෙන් සහ මුඛයෙන් සිරුරට ඇතුළුවීමෙන් පසු, පෙනහලු ආසාදනය කරයි. වයිරසය ආසාදනය වූ තැනැත්තා මරණයට පත්වන්නේ නිව්මෝනියාවෙනි.

ජපාන් වෛද්‍ය පර්යේෂකයන් ‘ඇවිගන්’ නමින් බෙහෙත් පෙත්තක් නිර්මාණය කර ඇත. ඒ, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වෙනුවෙනි. මෙම ඖෂධය චීන වෛද්‍යවරුන් එරට කොරෝනා ආසාදිතයන්ට ලබා දී ඇති බවත්, සිවු දිනකින් රෝගීන් සුව වූ බවත් පැවැසෙයි. ඒ අනුව, මෙතෙක් කොරෝනා වයිරසයට ඇති සාර්ථක බෙහෙත ලෙස ‘ඇවිගන්’ සැලකෙයි.

සාමාන්‍යයෙන් වසංගතයක් පැතිරෙද්දී, ස්වභාවිකව වයිරසය පැතිරෙන පිරිස අතරේ ‘සමූහ ප්‍රතිශක්තියක්’ නිර්මාණය වෙයි. ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් ද මේ අයුරින් සමූහ ප්‍රතිශක්තියක් නිර්මාණය වනු ඇත. ‘සමූහ ප්‍රතිශක්තිය’ ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ‘හර්ඞ් ඉමියුනිටි’ යනුවෙනි. බටහිර රටවල වෛද්‍යවරු මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අදහස් දක්වති.

‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් නම්, ‘හර්ඞ් ඉමියුනිටි’ නැතිනම් ‘සමූහ ප්‍රතිශක්තිය’ ඇතිවනු ඇත්තේ සියයට 70 ක් හෝ 80 ක් දෙනා රෝගයට ගොදුරු වී සුවය ලැබීමෙන් පසුව යැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

එපමණක් නොව, මරණ සංඛ්‍යාවට වඩා රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළ යා යුතුය. එවිට ඉතිරි සියයට 30 හෝ 20 හෝ රෝගයට ගොදුරු වන්නේ නැත. රෝගය සුව වූ පිරිස අතරේ රෝගයට එරෙහිව නිර්මාණය වූ ස්වභාවික ප්‍රතිශක්තිය මගින් එම පිරිස ආරක්ෂා කරනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ‘හර්ඞ් ඉමියුනිටි’ නැතිනම් ‘සමූහ ප්‍රතිශක්තිය’ ඇතිවීමට තරම් තවමත් ‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව ඉහළ ගොස් නැත. එහෙයින්, ‘හර්ඞ් ඉමියුනිටි’ නැතිනම් ‘සමූහ ප්‍රතිශක්තිය’ ඇති වීමට වසරක් පමණ ගත වනු ඇත.

අද (22) වනවිට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 3,04,544 කි. වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව 12,974 කි. රෝගය සම්පූර්ණ සුව වූ සංඛ්‍යාව 91,681 කි.

ලුසිත ජයමාන්න
අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS