‘සුරූපිනියන්ගේ හමුදාව’ එයි



දකුණු කොරියාවේ පියොන්චැංග් නුවර කේන්ද්‍රකොට ගනිමින් අනිද්දා (9) පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට සහභාගී වෙනවා යැයි ලොව කාගේත් අවදානයට ලක් වුණු ‘සුරූපිනියන්ගේ හමුදාව’ ඊයේ (7) දේශසීමා හරහා උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පැමිණියේය.

‘සුරූපිනියන්ගේ හමුදාව’ යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු කොරියානු ඔල්වරසන්දෙන්නියන්ගේ කණ්ඩායමය. මොවුන් පැමිණියේ උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සඳහාය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව වශයෙන් කොරියානු යුද්ධයෙන් පසු බෙදී වෙන්වී සිටින්නේ එකම ජාතියකි. උතුරු කොරියාව සැමවිටම දකුණු කොරියාවට තර්ජනයක් වෙයි.

උතුරු කොරියා සුරූපී යුවතියන්ගෙන් සැදුම්ලත් මෙම ඔල්වරසන්දෙන්නියන්ගේ කණ්ඩායම ‘සුරූපිනියන්ගේ හමුදාව’ යනුවෙන් දකුණු කොරියාව හඳුන්වා දෙන්නේ ඒ අනුවය. මෙවර සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක් වී, ‘කොරියාව’ ලෙසින් තරගවලට ඉදිරිපත් වීමට නියමිතය. මෙය සුවිශේෂී සිදුවීමකි.

සුරූපී ඔල්වරසන්දෙන්නියන්ගේ හමුදාවට වයස අවුරුදු 18 ත් 20 ත් අතරේ යුවතියෝ ඇතුළත් වෙති. මෙම කණ්ඩායමට ඇතුළත් කර ගැනෙන්නේ සුවිශේෂී සුදුසුකම් ඇති අය පමණි.  ඔවුන් අඩි 5 යි අගල් 3 ක් උස විය යුතුය. ඔවුන් උතුරු කොරියාවේ වැදගත් වංශවත් පවුල්වල දැරියන් ද විය යුතුය. තෝරා ගන්නා බොහොමයක් යුවතියෝ උතුරු කොරියාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය ලෙස සැළකෙන ‘කිම් ජොන් සන්ග්’ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවෝ ද වෙති.

උතුරු කොරියාවේ මෙම ‘සුරූපිනියන්ගේ හමුදාව’ ලොවට අරුමයක් නොවෙයි. මොවුන් ගැන පළමුවෙන්ම කතාබහක් ඇති වූයේ 2002 වසරේදීය. ඒ, දකුණු කොරියාවේ බූසාන් නුවර පැවැති ආසියානු ක්‍රීඩා උලෙළට ඔවුන් පැමිණීමත් සමඟය. එදා දකුණු කොරියාවට පැමිණි ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට දකුණු කොරියානු වැසියෝ කටයුතු කළහ. උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් වඩා කාගේත් අවධානය දිනා ගත්තේ මෙම පිරිසය.

2005 වසරේ දී ද ආසියා මලල ක්‍රීඩා උලෙළ පැවැත්වූයේ දකුණු කොරියාවේ ඉන්චියොන් නගරයේය. එම අවස්ථාවේදී සුරූපී ඔල්වරසන්දෙන්නියෝ උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ දකුණු කොරියාවට පැමිණියහ. එම කණ්ඩායමට නායකත්වය දුන්නේ එවකට උතුරු කොරියාවේ ජනප්‍රිය ගායිකාවක ද වුණු රී සොල් ජූ ය. අද වනවිට රී සොල් ජූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරියයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS