හුස්ම විකුණන ඔක්සිජන් බාර්



සුවිශේෂී බාර් මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පුරා දකින්න ලැබේ. ‘බාර්’ කීවාට මේවායේ මත්පැන් විකිණීමක් සිදුනොවෙයි. මේවා ඔක්සිජන් බාර් ය. විකිණෙන්නේ අපගේ ‘හුස්ම’ ය.

නවදිල්ලි අගනුවර විස දුමාරයකින් වැසී පවතී. පසුගිය දීපවාලී දිනයට පසු දිල්ලි වායු දූෂණය අහිතකර මට්ටමටත් වඩා අහිතකර විය. දිල්ලි ප්‍රාන්ත රජය පාසල් සහ කාර්යාලවලට නිවාඩු දුන්නේය. පාසල් දරු දැරියන් වෙනුවෙන් නොමිලේ මුහුණු ආවරණ ලබා දුන්නේය. රථ වාහන සීමා කළේය. මොනවා කළත් අගනුවර වසා ගත් විස දුම් සහ දූවිලි වලාවේ අඩුවක් නොවිණි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) දිල්ලි ප්‍රාන්ත රජයටත් මධ්‍යම රජයටත් දොස් නැගුවේය. ඒ, නවදිල්ලි අගනුවර ‘අපායකටත් වඩා අන්තයි’ කියමිනි. දිල්ලි ප්‍රාන්තයේ බලය ඇත්තේ ආම් ආද්මී පක්ෂයටය.

දිල්ලි වැසියන්ට පිරිසුදු වාතය ආශ්වාස කිරීමට අවස්ථාව ලබා දීම, ‘ඔක්සිජන් බාර්’ පිහිටුවීමේ අරමුණ විය. බෝතල් කළ ඔක්සිජන් බාර් එකේ දී ලබා ගැනීමට හැකි අතර, බාර් එකට වී, වෙස් මුහුණ පැළඳ ගනිමින්, ඒ පිරිසුදු නැවුම් වාතය ආඝ්‍රාණය කළ යුතු වෙයි.

දිල්ලි බාර්වල මෙසේ ඔක්සිජන් ලබා දෙන්නේ නිකම් නොවෙයි. එය ද ව්‍යාපාරයකි. මිනිත්තු 15 ක් පිරිසුදු වාතය වෙනුවෙන් ඉන්දීය රුපියල් 300 ක් ගෙවීමට සිදුවෙයි. ශ්‍රී ලංකා රුපියල්වලින් නම් රුපියල් 750 ක් පමණය.

හුස්ම ගන්න බාර් එකකට යෑම. අවසානයේ අපට හුස්මත් මිලදී ගන්න වී ඇත. වායු දූෂණය දිල්ලියේ ඉහවහා ගොස් ඇත. දිනෙන් දින ගස් කපමින් කොන්ක්‍රීට් වනාන්තර අහස උසට නැගෙද්දී, වායු දූෂණය ලොව සෑම ප්‍රධාන නගරයකටම අහිතකර බලපෑම් එල්ල කර ඇත. අනාගතයේ දිනෙක ලෝකවාසී සැමට හුස්ම ඉල්ලා ගනිමින් ඔක්සිජන් බාර් වෙත යෑමට සිදුවනු නොඅනුමානය.

ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS