සුර්ජිත් පුතුගේ අවසන් හෝරාව



දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුකට්ටුපට්ටි පළාතේ ත්‍රියුචිරපප්පාලි නගරයට නුදුරින්, නළ ළිඳක කුහරයකට වැටී, සිවු දිනක් තිස්සේ සිරවී සිටි දෙහැවිරිදි පුංචි පුතු සුර්ජිත් විල්සන් මියගියේය.

ඔහු බේරා ගැනීමට දිවා රෑ නොබලා මහ මෙහෙයුමක් සිදුවිය. තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන්, සහන සේවකයන්, ඉන්දීය හදිසි ආපදා ප්‍රතිචාර ඒකකයේ නිලධාරීන්, කැණීම් ඉන්ජිනේරුවන් ඇතුළු 70 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සුර්ජිත් පුතු බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය. සුර්ජිත් පුතුගේ මරණයේ ඒ අමිහිරි පුවත අපට අසන්න ලැබුණේ

ඊයේ (29) උදෑසනය. පුතුගේ නිසල සිරුර ගොඩට ගැනීම සිදුවිය. ඒ, ‘පුතේ’ කියමින් නළ ළිං කුහරය අසලට වී සිටි මවගේ විලාපය සහ රැස්ව සිටි සැමගේ කඳුළු මැදය.

දෙහැවිරිදි සුර්ජිත් විල්සන් පුතු, අතහැර දැමූ නළ ළිං කුහරයට වැටුණේ, යහළුවන් සමඟ සෙල්ලම් කරමින් සිටිද්දීය. ඒ, පසුගිය 25 වැනිදා (සිකුරාදා) ය. නළ ළිං කුහරය දිගේ රූටා ගිය සුර්ජිත් මීටර් 10 ක් (අඩි 30) පහළින් සිරවිය. සුජිත් කෑ ගසමින් උදව් ඉල්ලුවේය. සුර්ජිත්ගේ මව විලාප දෙද්දී, ගම්වාසීන් රොක් වී සුර්ජිත් බේරා ගැනීමට උත්සහ ගත්ත ද අසාර්ථක විය. සිදුවුණු අකරතැබ්බ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් පසු, සහන සේවකයන් සහ අදාල බලධාරීන් සිද්ධිය වූ තැනට පැමිණියේ පැය 9 ක් ගත වීමෙන් පසුව යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
සුර්ජිත්ගේ මව ළිං කුහරය අසලට වී, ‘හඬන්න එපා’ යැයි කියමින් පුතු සනසන්න වූවාය. ‘පුතා බ්රා ගැනීමට අප හැමදේම කරනවා’ යැයි රැස්ව සිටි බලධාරීහු ඇය සනසන්න වූහ. සහන සේවකයන්ගෙන් ලද උපදෙස් අනුව, සුජිත්ගේ මව, සුර්ජිත් පුතා බේරා ගැනීමට කුඩා මල්ලක් ද මැසුවාය. ඒ, එම මල්ල නළ ළිං කුහරයෙන් පහළට දමා සුර්ජිත් පුතාට එහි එල්ලෙන්න හැකි අයුරිනි.

සුර්ජිත් පුතා නළ ළිං කුහරයට වැටී සිදුවුණු අකරතැබ්බ තමිල්නාඩු පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය. සමාජ මාධ්‍ය ඔස්සේ කවුරුත් ඒ ගැන කතාබහ කරන්න විය. ඒ අනුව, තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන්ගේ අවධානය ද සුර්ජිත් වෙත යොමු විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අවධානය ද සුර්ජිත් බේරා ගැනීමේ මෙහෙයුමට යොමු විය. ඉන්දීය අගමැතිවරයා, තමිල්නාඩු මහ ඇමැති කේ. පලනිස්වාමි අවස්ථා කිහිපයකදී දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේය. එහිදී තමිල්නාඩු මහ ඇමැතිවරයා අගමැති මෝදිට පැවැසුවේ දරුවා ආරක්ෂිතව බේරා ගැනීමට හැකි සෑම දෙයක් ම කරන බවය. ‘සුර්ජිත් විල්සන් දරුවා බේරා ගැනීමට කරන ඒ අසීරු මෙහෙයුම් සාර්ථක වේවා’ යැයි තමා ප්‍රාර්ථනා කරන බව අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණි.

සුර්ජිත් පුතුට සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් හිමිවූයේ ගෙවී ගිය සත් අන්තය ඉන්දියානුවන්ට විශේෂ නිවාඩු සති අන්තයක් වූ බැවිනි. පසුගිය 27 වැනිදා ඉන්දියානුවෝ දීපාවලී සැමරූහ. ඉන්දීය ප්‍රධාන විපක්ෂයේ හිටපු සභාපති ලෙස කටයුතු කළ රාහුල් ගාන්ධි, දීපාවලී දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසුවේ දරුවා බේරා ගැනීමට හැකියාව ලැබේවා කියාය. ‘අද ඉන්දියාවේ හැමෝම දීපාවලී සමරනවා. ඒත් තමිල්නාඩුවේ කාලය සමඟ සටනක් කරමින් කුඩා දරුවකු බේරා ගන්න මහ මෙහෙයුමක් සිදුවෙනවා. දරුවා බේරා ගන්න හැකිවේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා’ යැයි රාහුල් ගාන්ධිගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

‘සුර්ජිත් බේරා ගනිමු’ යැයි කියමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියානුවෝ එකමුතු වූහ. ශ්‍රී ලංකාවේ අප ද ඒ ගැන විශේෂ උනන්දුවක් දැක්වීය. ඉන්දියාවේ කුඩා දරුවන්, මේ අයුරින් ළිංවලට වැටී අනතුරුවීම බහුලය. එසේ අකරතැබ්බවලට මුහුණ පෑ දරුවන් බේරා ගත් අයුරු දැක්වෙන වෙනත් වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමට පටන් ගත්තේ මෙම අවස්ථාවේදීය. ඒ, සුර්ජිත් පුතා බේරාගත් බව පවසමිනි.
සුර්ජිත් පුතා බේරා ගැනීමට දිවා රෑ නොබලා කැණීම් සිදු වෙමින් පැවැතිණි. තව පැය 12 න් බේරා ගන්නවා, පැය 10 න් බේරා ගන්නවා යැයි සහන සේවකයෝ මාධ්‍ය හමුවේ පැවැසූහ.

කෙසේ නමුත් කැණීම් කළ යුතු වූයේ ඉතා ප්‍රවේසමෙනි. කැණීම්වල කම්පනයට නළ ළිං කුහරයට පස් කඩා වැටීමේ අවදානමක් පැවැතියේය. සුජිත් පුතු බේරා ගැනීමට නළ ළිං කුහරයට සමාන්තරව තවත් කුහරයක් කැණීමට පියවර ගැණුනි. එහෙත්, කුහරයක් විදීම ගැටලුවක් විය. ඒ, කැණීම් කරද්දී කළු ගල් හමුවීම නිසාය. ඒ සමඟ නව කැණීම් යන්ත්‍ර එම ස්ථානයට ගෙනඑන ලදී. එපමණක් නොව, සුර්ජිත් පුතා බේරා ගැනීමේ මෙහෙයුමට වර්ෂාව ද හරස් විය. නළ ළිං කුහරයට වැටී මීටර් 10 ක් (අඩි 30) ගැඹුරේ සිරවී සිටි සුර්ජිත් පුතා තවත් පහළට ලිස්සා ගොස් මීටර් 180 ක් පමණ ගැඹුරේ සිරවිය. ඒ සමඟ මඩ තට්ටුවලින් ද ඔහු වැසී ගියේය. ඒ, පෙරේදා (28) සවස් වෙද්දීය.
නළයක ආධාරයෙන් පහළට ඔක්සිජන් යැවීම දිගටම සිදු කෙරුණත්, සුර්ජිත් පුතාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පුතා සිටින්නේ අවදානම් තත්ත්වයක යැයි වෛද්‍යවරු පෙන්වා දුන්හ. සුර්ජිත් පුතා බේරා ගත්තොත්, වහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු කණ්ඩායමක් එහි පැමිණ සිටියහ.

කිසිදු අහරක් නොමැතිව, හරිහැටි හුස්ම ගැනීමට පවා නොහැකිව අවුරුදු දෙකක පොඞ්ඩකුට දින 4 ක් අඳුරේ සිටිය හැක්කේ කෙසේද? ඊයේ (29) උදෑසන වනවිටත් සුර්ජිත් පුතුගේ දෑස් සදහටම පියවී ගොසිණි. කැණීමට සම්බන්ධ වුණු සහන සේවකයන් සුර්ජිත් පුතුගේ පුංචි නිසල සිරුර මවටත් පියාටත් බාර දුන්නේය. සුර්ජිත් පුතාගේ අවසන් කටයුතු ඊයේ (29) සිදුවිය.

සුර්ජිත් පුතා සම්බන්ධයෙන් තමිල්නාඩු වැසියන් අතරේ ලොකු උන්නදුවක් ඇතිවීමට තවත් හේතුවක් වූයේ 2017 වසරේ තිරගත වුණු කාගේත් කතාබහට ලක් වුණු දමිළ චිත්‍රපටයක් නිසා යැයි ද පැවැසෙයි. ගෝපි නයිනාර් අධ්‍යක්ෂණය කළ, ජනප්‍රිය දමිළ නිළි නයනතාරා ප්‍රධාන චරිත නිරූපණය කරන එම චිත්‍රපටය ‘අරාම්’ ය. ‘අරාම්’ යන්නෙහි සිංහල අදහස ‘සද්ගුණය’ යන්නය. සුර්ජිත් විල්සන්ගේ සිදුවීම සමඟ මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ, මෙම චිත්‍රපටයේ කතාව ද සුර්ජිත්ගේ කතාවට සමාන වීම නිසාය. කෙසේ නමුත් චිත්‍රපටයේ ඇත්තේ හොඳ අවසානයකි. ‘අරාම්’ චිත්‍රපටයේ කතාවට අනුව තමිල්නාඩුවේ නොදියුණු කුඩා ගම්මානයක දැරියක ගැඹුරු ළිඳකට වැටේ. එම දැරිය බේරා ගැනීම ප්‍රාන්ත බලධාරීන්ට අභියෝගයක වෙයි.

දින හතරක් තිස්සේ පැය 24 පුරා සිදුවුණු ඒ මහා මෙහෙයුම අසාර්ථකව අවසන් විය. සුර්ජිත් පුතා බේරා ගැනීමට කළ ඒ දැවැන්ත මෙහෙයුම අසාර්ථක විය. අඟහරුට රොබෝ යානා යැවූ, සඳට යානා යැවූ ඉන්දියාවට අඩි 100 ක් ගැඹුරය සිදුරක් හාරා ගැනීමටත් තාක්ෂණයක් නැතැයි බොහෝ දෙනකු මෙම මෙහෙයුමට සම්බන්ධ බලධාරීන්ට අප්‍රසාදය පළ කර ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය. අවසානයේ සුර්ජිත් පුතා මියගියේය. දුවන පනින පොඞ්ඩන් ගැන අප සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතුය. සුර්ජිත් පුතු මියගියේ අප සැමගේ සිත් කම්පා කරමිණි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS