සුදු මැදුරට යන චෑම්ප් සහ මේජර්



ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වී, ධවල මන්දිරය හෙවත් ඇමෙරිකන් ජනපති නිල නිවසට යෑමට සූදානමින් සිටින්නේ, 77 හැවිරිදි ජෝ බයිඩන් ය. බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වසස්ගතම තැනැත්තාය.

බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත්තේ ලබන 2021 ජනවාරියේය. බයිඩන්ගේ බිරිඳ ජිල් 69 හැවිරිදි වියෙහි පසුවන අතර ඇය ධවල මන්දිරයට යන්නේ ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ලෙසය. ජනාධිපති ආර්යාව ලෙස ඇයට ද රාජකාරි බොහොමයකි. මීට අමතරව තවත් දෙදෙනකු ද ධවල මන්දිරයේ පදිංචියට යෑමට නියමිතය. චැම්ප්, මේජර් යනු ඒ දෙදෙනාය. චැම්ප්, මේජර් ජනපති බයිඩන්ගේ බලු සුරතලුන් දෙදෙනාය.

ඇමෙරිකන් ජනාධිවරණයෙන් ජය ලබමින්, ධවල මන්දිරයට යන, නව ජනාධිපතිවරයා මෙන්ම, ඔහුගේ සුරතල් සතුන් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු වෙයි. ගතවුණු වසර 100 පුරාවට, ජනපතිවරුන් සමඟ ඔවුන්ගේ සුරතල් සතුන් ද ධවල මන්දිරයේ කැපී පෙනුනි. ජනපතිවරයාගේ සුරතල් සතුන් ධවල මන්දිරයට යෑම ඇමෙරිකාවේ සම්ප්‍රදායකි. කෛස් නමුත්, වසර 100 කට පසු එම සම්ප්‍රදාය කැඩුවේ, පරාජයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප්ට සුරතල් සතුන් සිටියේ නැත. ඔහු සුරතල් සතකු ධවල මන්දිරයට ගෙනාවේ ද නැත. ඔහු සමඟ ධවල මන්දිරයට ගියේ බිරිඳ මෙලානියා සහ ඔවුන්ගේ පුතු බැරන් පමණි.

නව ජනාධිපති සමඟ ධවල මන්දිරයට යන චෑම්ප් සහ මේජර් ජර්මන් ෂෙපර්ඩ් බල්ලන් දෙදෙනකි. මේ වනවිට චෑම්ප් සහ මේජර් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් නිර්මාණය වී ඇත. දහස් ගණනක් රසික රසිකාවියන් චෑම්ප් සහ මේජර්ගේ ඡායාරූපවලට ‘ලයික්’ දමන බව ද දැනගන්න ලැබේ.

පුංචි බලු බැටවකු ලෙස චෑම්ප්, බයිඩන් විසින් හදා වඩා ගැනීම ආරම්භ කර ඇත්තේ 2008 දීය. ඒ, ඇමෙරිකන් උප ජනාධිපති ලෙස බයිඩන් තේරී පත් වූ අවස්ථාවේදීය.

මේජර් බයිඩන් පවුලට එක් වූයේ, බයිඩන් උප ජනපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේදීය. මේජර්, බයිඩන්ට බිරිඳ ජිල්ගෙන් ලැබුණු තෑග්ගකි.

පසුගිය කාලයේ ජෝ බයිඩන් සහ ජිල් ඇමෙරිකාව පුරා ඡන්ද රැලිවලට සහභාගීවීමට ගිය අවස්ථාවේදී ඔවුන් චැම්ප් සහ මේජර් ද රැගෙන යෑමට අමතක නොකළාහ. චෑම්ප්ට ඒ නම යෙදා ඇත්තේ බයිඩන්ගේ මුණුපුරු මිණිපිරියන්ය.

‘මා දරුවන්ට ආදරෙයි. බල්ලන්ට ආදරෙයි. බල්ලන්ට ආදරේ ජනාධිපති කෙනකු හැටියට ජනතාව මා හඳුනා ගනීවි.’ යැයි ජෝ බයිඩන් පවසා ඇත.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS