සිරියානු යුද්ධය දරුණු වේවිද ?



රසායනික අවි ගබඩා කර ඇතැයි සැක කෙරෙන ස්ථාන වෙත ඇමෙරිකා, බි්‍රතාන්‍යය සහ ප්‍රංශ ඒකාබද්ධ ගුවන් හමුදා ප්‍රහාර එල්ල කිරීමත් සමඟ සිරියානු සිවිල් යුද්ධය තවදුරටත් දරුණු ස්වභාවයක් ගැනීමේ අවදානමක් ඇති වී තිබේ.

නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි භාවිත කරමින් ගෑස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගන්නැයි ඇමෙරිකා ජනාධිපතිවරයා සිකුරාදා (13) ජාතිය අමතමින් නිවේදනය කරනාවත් සමඟ සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල විය. 

ගුවන් ප්‍රහාර හේතුවෙන් කලාපීය වශයෙන් ප්‍රතිවිපාක විඳින්නට සිදුවනු ඇතැයි ඉරානය අනතුරු ඇඟවීය. ඉරාන විදේශ අමාත්‍ය ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය සිරියාවට එරෙහිව කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් ද නිකුත් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂ නායකයෝ සිරියාවේ ඉලක්ක කරන ලද ගුවන් ප්‍රහාර අනුමත කළ ද සිරියානු යුද්ධයට වැඩි වැඩියෙන් සම්බන්ධ වීම හෝ මැදිහත් වීම සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතු යැයි අවධාරණය කළහ. ජනාධිපති ට්‍රම්ප් නියෝජනය රිපබ්ලිකන් පක්ෂය ද සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම අනුමත කළ ද ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් මැද පෙරදිග අර්බුදය හෝ සිරියානු අර්බුදය නොවිසඳෙන බව එම පක්ෂ සාමාජිකයෝ කිහිපදෙනක්ම කියා සිටියහ.

සිරියාවේ හෝම්ස් හි පිහිටි හමුඳා කඳවුරුවලට එල්ල වූ මිසයිල ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බව හමුදාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සිරියාවේ සානා පුවත් සේවය වාර්තා කර තිබිණි. ප්‍රහාරවලින් ඩැමැස්කම් හි බාර්සෙහ් දිස්ත්‍රික්කයේ පිහිටි විද්‍යා පර්යේෂණාගාරයට භෞතික හානි පමණක් සිදුව ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලක් විනාශ වූ බව ද එහි ඉගෙනුම් මධ්‍යස්ථානයක් ද විද්‍යාගාර කිහිපයක් ද විනාශ වී ඇතැයි ද එම වාර්තාවලින් කියැවිණි.

ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ තිබෙන රුසියානු හමුදා කඳවුරුවවලට කිසිදු හානියක් නොවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. මිසයිල හෝ රොකට් ප්‍රහාර කිසිවකින් සිරියාවේ පිහිටි රුසියානු හමුදා කඳවුරුවලට එල්ල නොවූ බවත් රුසියානු හමුදා කඳවුරුවලට ගුවන් ආරක්ෂක පද්ධතිවල ආරක්ෂාව හිමිවන බවත් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රුසියාවේ ‘ටාස්’ පුවත් සේවය වාර්තා කළේය.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවල ගුවන් ප්‍රහාර එල්ල වීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් ඩැමැස්කස් නුවර විරෝධතා පැවැති බව ලෙබනන මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාර එල්ල වීමත් සමඟ ඇමෙරිකාව සිරියානු සරණාගතයන්ට එරට තුළ ඉඩදිය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇමෙරිකා ජනාධිපතිවරයාට අවධාරණය කළේය. ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම විය යුතු බවත් ඇමෙරිකා එක්සත් ජනපදය සිරියානු සරණාගතයන් බාරගත යුතු බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය තවදුරටත් අවධාරණය කළේය.

සිකුරාදා රාත්‍රියේ සහ සෙනසුරාදා අළුයම එල්ල කරන ලද ගුවන් ප්‍රහාර කලින් සැලැසුම් කරන ලද ඒවා යැයි ද එවැනි ක්‍රියාවලට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර ලැබෙන ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රුසියා තානාපති ඇනටොලි ඇන්ටොනොව් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවැසීය. එම

ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් විය.“සිරියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර සැලැසුමක් ක්‍රියාත්මක කිරීමක්. එය හදිසියේ සිදුවූවාක් නෙමෙයි. හොඳින් සැලැසුම් කර එල්ල කරන ලද්දක්. ඒවාට ප්‍රතිවිපාක නැතිව අමතක වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ. අප තර්ජනයට ලක්ව තිබෙනවා. අපි මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වනවා”.

සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය ඒ බව ඊශ්‍රායලය දන්වා සිටි බව එරටින් ලැබුණු ආරංචි මාර්ග සඳහන් කළේය. ප්‍රහාර එල්ල වන වේලාව ඊශ්‍රායලය දැන සිටි බව ද එම ආරංචි මාර්ගවලින් කියැවිණි.
ප්‍රහාර එල්ල වීමට පෙර ඉලක්ක ගත ප්‍රදේශ හිස් කිරීමට හැකියාව ලැබුණු බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් රජයට හිතවත් නිලධාරියෙක් පැවැසීය.

“රුසියාව දින කිහිපයකට පෙර අපිට අනතුරු ඇඟෙව්වා. ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න අපි තර්ජනයට ලක්ව තිබූ ප්‍රදේශ හිස් කළා. ප්‍රහාරයක් එල්ල වේවි කියලා රුසියාව අපිට අනතුරු අඟවලා තිබුණේ. ඒ නිසා දින කිහිපයකට ප්‍රහාර එල්ල වනු ඇතැයි පැවැසුණු හමුදා කඳවුරු සියල්ල හිස් කිරීමට අපිට හැකියාව ලැබුණා. ඇමෙරිකා ප්‍රමුඛ හමුදා මිසයිල 30ක් පමණ එල්ල කළා. අපට සිදුවුණේ භෞතික හානියක් පමණයි” යැයි එම ඉහළ නිලධාරියා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට නේටෝව ද සහාය දැක්වූ බව එහි ප්‍රධානියා ප්‍රකාශ කළේය. සිරියාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ගන්නා ලද ක්‍රියාමාර්ගවලට උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සහාය දැක්වූ බව එහි මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පැවැසීය.
සිවිල් වැසියන් ඉලක්ක කරගෙන කරන සෑම ප්‍රහාරයක්ම අවසන් විය යුතු බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිරියාවේ විපක්ෂ නායක නස්රා අල් හරිරි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියේය.

“රෙජීමය ඉදිරියේදී රසායනික අවි භාවිත කරන එකක් නැහැ. එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව ඊට ඉඩක් දුන්නොත් ඔවුන් රසායනික අවි භාවිත කරන්න දෙවරක් හිතන එකක් නැහැ. ඒ වගේම ඔවුන් බැරල් බෝම්බ හා පොකුරු බෝම්බ ප්‍රහාරත් එල්ල කරාවි” විපක්ෂය නායකයාගේ ට්විටර් පණිවිඩයේ දැක්විණි.

සිරියාවට සාමය ගෙන ඒමට ඉතා හොඳ අවස්ථාවක් පැමිණ තිබූ මොහොතක මෙම ගුවන් ප්‍රහාර එල්ල වූ බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS