විල්පත්තුව හැඩ කළ මේඝ



ඇතුන් 10 ක් පමණ සැරිසරන විල්පත්තු අභයභූමියේ ජීවත් වූ දිගම දළ යුගලක් හිමි ඇතු වූ‍යේ 'මේඝ'ය. ‍වසරේ බොහෝ කාලයක් ව්‍යාදිකුලම් ප්‍රදේශයේ රැඳී සිටි බැවින් ‍මෙම ඇතා ව්‍යාදිකුලම් ඇතා ලෙස ද හැඳින්විණි. 

වසර 55ක් 60ක් පමණ කාලයක් විල්පත්තුව සැරසූ මෙම ඇත් රජු පසුගියදා විල්පත්තුවට මෙන්ම තම ජීවිතයට ද සමුදුන්නේ තවත් ඇතකු හෝ අලියකු සමඟ ඇතිවූ සටනක් අවසානයේ ලැබූ දරුණු තුවාල හේතුවෙනි.

මෑත කාලයේදී මිනිසුන්ගෙන් කිසිම පීඩාවක් නොලබා වනාන්තරයක ජීවත් වී උපරිම ආයුෂ විඳ ස්වභාවික මරණයකට උරුමකම් කී හස්තියා ලෙස ද මේඝ සැලකේ. වර්තමාන‍යේදී දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම් හමුවේ උණ්ඩයක්, පතරොමක් වැදීමෙන් ඇතිවූ තුවාල හෝ තුවාල කැලල් දක්නට නොමැති අලියකු හෝ ඇතකු වනාන්තරයක දැකීම ඉතා දුර්ලභ බව පරිසරවේදීන්ගේ අදහසයිත නමුත් ගම්බද ප්‍රදේශයන්ට නොගොස් වනයේම සැරිසැරූ මේඝ ඉතා ආරක්ෂිතව කිසිඳු පීඩාවකට ලක් නොවී ජීවත්වූ හස්තියෙකි. 

සෑම වසරකම එක් කාලෙකදී ව්‍යාදිකුලම්, තේක්කගම, මහ‍විලච්චිය හරහා විල්පත්තු ජාතික උද්‍යානයට පැමිණ නැවතත්, ව්‍යාදිකුලම් වෙත ගමන් කිරීම මේඝ හස්තියා‍ගේ ජීවන රටාව වූ බව වන ජීවි නිලධාරීන් පවසයි.

විල්පත්තු මහ කැලයේ ඉපදි, ජීවිත කාලයම එහි ජීවත් වී, ඇතකු ලැබූ ජීවිතය ස්වභාවධර්මයෙන් උරුම වූ ආකාරයට නිදහසේ ගත කළ මේඝ සිරුරේ කැලළක් හෝ උණ්ඩයක් නොමැතිව උපරිම ආයු කාලය ගත කර ජීවිතයට සමුදුන්නේ ස්වභාව ධර්මයා නියම කළ ආකාරයටමය.

ස්වකීය ආධිපත්‍යය වෙනුවෙන් සටන් කර අභිමානවත්ව මිය යාම ස්වභාවධර්මයා මේඝ වෙනුවෙන් ලබාදුන් තීරණය වන්නට ඇත.

ඒ අනුව කළ සටනකින් තුවාල ලැබූ ‍'මේඝ' විල්පත්තු රක්ෂිතයේ වැටී සිටින බවට මීට දින කිහිපයකට පෙර වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබුණේ සංචාරකයින් පිරිසක් විසිනි.

විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථානයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩී.එම්.එන්. ශ්‍රීනාත් බණ්ඩාර මහතා පැවසුවේ මේඝගේ දකුණු කන අසල තුවාල සහිතව වැටී සිටි බවයි.

අනුරාධපුර පශු වෛද්‍ය ඒකකය සහ වනජීවී සංරක්ෂණ ප්‍රධාන කාර්යාලය එක්ව 'මේඝ' ට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති නමුත් හිස ඔසවා ගැනීමටවත් නොහැකි තරම් දුර්වල වී සිටි මේඝ බේරා ගැනීමට ඔවුන්ට නොහැකිවිය.

අවසානයේ මේඝ තමන් දිවිගෙවූ විල්පත්තුවේම මිහිදන් විය.

මේඝ ගේ ශරීරයේ තිබූ තුවාල අනුව ඔහු මියයන්නට ඇත්තේ තවත් දළ ඇතකු සමඟ සටනකින් නොව විශාල ප්‍රමාණයේ අලියකු හෝ පණු දළ සහිත ඇතෙකු සමග සටනින් විය යුතු බව ඇතාගේ මරණ පරීක්ෂණය පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ නිර්දේශය වී තිබේ.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS