වික්‍රම්ගේ අසාර්ථක වික්‍රමය



ඉන්දියාවේ දෙවැනි සඳ ගවේෂණ මෙහෙයුම, ‘චන්ද්‍රයාන් 2’ බලාපොරොත්තු පොදි බැඳගත් මෙහෙයුමක් විය.

‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට යොදා ගත් මවු යානයට කුඩා යානා තුනකි. ‘චන්ද්‍රයාන් 2’ මවු යානය පසුගිය ජූලි 22 වැනිදා උඩු ගුවනට තල්ලු කර හැරීමෙන් පසු, පෘථිවි කක්ෂයේ රැඳී සිට, නියමිත වේගය ලබා ගනිමින් සඳ බලා ගියේ අගෝස්තු 20 වැනිදාය. එය සඳුගේ කක්ෂයට පිවිසුණේ සැප්තැම්බර් මුල් සතියේය.

‘චන්ද්‍රයාන් 2’ මවු යානයට ඇතුළත් යානා තුනෙන් එකක් චන්ද්‍රිකාවකි. මෙය කක්ෂීය යානයකි. මෙම යානය මවු යානයෙන් මුදා හැරීම සාර්ථකව සිදුවිය. කක්ෂීය යානය සඳුගේ කක්ෂයට සාර්ථකව පිවිසුණි.

‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමේ පළමු අදියර ඒ අනුව සාර්ථක වූ අතර දෙවැනි අසීරුතම අදියර ඉන්පසු ඇරැඹිණි. ඒ, ‘වික්‍රම්’ නමැති යානය සඳ මතට පතිත කිරීමය. වික්‍රම් යානය, සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට සූදානමින් තිබුණි. ඒ, පසුගිය 7 වැනිදා අලුයමය.

කෙසේ නමුත් සඳ මතුපිට සිට කිලෝ මීටර් දෙකක් පමණ ඉහළදී, ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය සහ යානය අතර පණිවුඩ හුවමාරු අඩපණ විය. යානය සඳ මතුපිටට කඩා වැටෙන්න ඇතැයි අනුමාන කෙරුණි.
වික්‍රම් යානය තුළ තවත් යානයක් විය. එය ‘ප්‍රාග්යාන්’ ය. මෙම යානය කුඩා රොබෝ රෝවර් යානයකි. සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු කිරීමට මෙය සකසා තිබුණි. ‘වික්‍රම්’ සඳට කඩා වැටෙද්දී රෝවරයට ද හානිවන්න ඇතැයි සැක කෙරේ.

‘වික්‍රම්’ යානය සඳට කඩා වැටී පැත්තකට පෙරැළී ගොස් ඇති බව ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන් මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

නියමිත පරිදි පතිත කිරීම සිදු නොවුණත්, ‘වික්‍රම්’ යානයෙන් සංඥා ලබා ගැනීමට තවමත් උත්සාහ ගන්නා බව ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ කියති.

යානය ‘වික්‍රම්’ යන නමින් නම් කෙරුණේ ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය පිහිටුවීමෙහිලා පුරෝගාමියා වූ වික්‍රම් සාරාභායි ට ගරු කිරීමක් ලෙසින් යැයි ද පැවැසෙයි.

‘වික්‍රම්’ යානය සහ ‘ප්‍රාග්යාන්’ යානය සඳ මතුපිටට සාර්ථකව පතිත කෙරුණේ නම්, ඒවායින් ලැබෙන සංඥා පෘථිවියට එවීම සිදු කිරීමට නියමිතව තිබුණේ සඳුගේ කක්ෂයේ රැඳ වූ චන්ද්‍රිකාවේ ආධාරයෙනි. ‘වික්‍රම්’ යානය සඳට කඩා වැටී පැත්තට පෙරැළී තිබෙන බව විද්‍යාඥයන්ට දැකගන්න ලැබී ඇත්තේ මෙම චන්ද්‍රිකාවේ ආධාරයෙනි.

‘වික්‍රම්’ යානයේ දෝෂය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයට සම්බන්ධව කටයුතු කළ මහාචාර්ය රොඩාම් නරසිම්හා පවසා ඇත්තේ, ‘වික්‍රම්’ යානයේ ඇන්ජිමේ දෝෂයක් හටගන්න ඇති බවය.

ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ආචාර්ය කයිලසාවාදියෝ සිවාන්ය. පසුගිය 7 වැනිදා අලුයම ‘වික්‍රම්’ යානය සඳමත පතිත කිරීමේ ඓතිහාසික අවස්ථව දැක බලා ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයට පැමිණ සිටියේය.

මෙහෙයුම අසාර්ථක වූ අවස්ථාවේදී, ආචාර්ය කයිලසාවාදියෝ සිවාන් සනසමින් අගමැති මෝදි කියා සිටියේ, ‘අපි යළිත් උත්සාහ කරලා බලමු’ කියාය. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට සම්බන්ධ සියලු විද්‍යාඥයන්ට සහ තාක්ෂණ ශිල්පීන්ට ස්තුති කිරීමට ද අගමැති මෝදි කටයුතු කළේය. මෙය සමස්ත ඉන්දියානුවන්ගේ පැසැසුමට හේතුවක් වී ඇත.

ලුසිත ජයමාන්න
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS