වයිරසයට ඔරොත්තු දෙන පිරිසක්



ලොව කාටත් වසංගතයක් වූ ‘කොවිඞ් 19’ වයිරසය පරාජය කළ හැකි එන්නක් නිපදවන්නේ කවදාදැයි අපි බලා සිටින්නෙමු. මේ වනවිට එන්නත් වර්ග 100 ක් පමණ නිපදවෙමින් පවතී. අප අසල්වැසි ඉන්දියාව, පාකිස්තානය පමණක් නොව වියට්නාමය පවා එන්නත් නිපදවීමේ ක්‍රියාවලියට යොමු වී සිටින බව පැවැසෙයි.

එන්නතක් නිපදවීමට නම්, වයිරසය අපට බලපෑම් එල්ල කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය. ඒ සම්බන්ධයෙන් ලොව පුරා වෛද්‍ය පර්යේෂකයෝ පරීක්ෂණ පවත්වති. අත්හදා බැලීම් කරති.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ලාහෝලා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඒ අතරික් කැපී පෙනෙයි. නිරන්තරයෙන් සාමාන්‍ය හෙම්බිරිස්සාව හැදෙන අයගේ සිරුරේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට ප්‍රතිශක්තියක් නිර්මාණය වී ඇති බව ලාහෝලා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පවසති.

‘කොවිඞ් 19 කියන්නේ කොරෝනා වයිරස පවුලේ අලුත්ම සමාජිකයා. ඒත් හෙම්බිරිස්සාව එසේත් නැතිනම් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් ඇති කරන මාරක නොවන කොරෝනා වයිරස තිබෙනවා. නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳින අයට මෙම වයිරස ආසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ සිරුරේ තිබෙන ප්‍රතිශක්තියට පුළුවන් වෙනවා කොවිඞ් 19 වයිරසයට එරෙහිව සටන් කරන්න’ යැයි මහාදාර්ය ඩෑන් ඬේවිස් පැහැදිලි කර තිබේ.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS