වයිරසය පැරැදූ කුඩා ඉතාලි නගරය



චීනයෙන් පිට බිහිසුණු අයුරින් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ රටක් ලෙස ඉතාලිය සැලකෙයි. ඉතාලියේ මරණ මේ වනවිට 10,000 පසුකර ඇත. ආසාදිතයන් ගණන 90,000 කට වඩා වැඩිය. නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වූයේ උතුරුදිග ඉතාලියේ පළාත් සහ නගරවලටය.

රෝහල් වයිරස ආසාදිතයන්ගෙන් පිරී යද්දී, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩල සමාජිකයෝ අසරණ වූහ. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු වැඩිහිටි රෝගීන් මියයෑමට ඉඩ හැරීම හැර වෙනත් විකල්පයක් නොවූ අවස්ථා ද අසන්න ලැබුණි. රෝහල්වල පමණක් නොව නිවෙස්වල ද මළ සිරුරු ගොඩ ගැසෙන්න විය. නිවෙස්වල මළ සිරුරු හමුදාවෙන් රැගෙන යනු ලබන්නේ ට්‍රක් රථවල පටවා ගනිමිනි. මිනීපෙට්ටි සීල් තබා ආදාහනය හෝ භූමදානය හෝ කෙරේ. පවුලේ කිසිවකුටවත් අවසන් ගෞරව දැක්වීමට ඉඩක් ලැබෙන්නේ ද නැත. කෙසේ නමුත් මේ වනවිට ඉතාලියේ එක් කුඩා නගරයක් වයිරසය මැඬලීමට සමත් වී සිටී. එපමණක් නොව, නගර බලධාරීන් පවසන අන්දමට, වයිරස සම්පූර්ණයෙන් නගරයෙන් තුරන් කිරීමට ද ඔවුන්ට හැකියාව ලැබී ඇත. මේ නගරය ‘වෝ ඉගුගානියෝ’ ය. නගරයේ ජනගහනය 3,300 ක් පමණය. උතුරුදිග ඉතාලියේ පළාත් සහ නගර පුරා ඉවක් බවක් නොමැතිව වයිරසය පැතිරෙද්දී, වසංගත තත්ත්වයක් නිර්මාණය වෙද්දී, ඊට ගොදුරු වුණු කුඩා නගරයක් වූයේ ද මෙම ‘වෝ ඉගුගානියෝ’ නගරයයි.

පසුගිය පෙබරවාරි තෙවැනි සතිය වෙද්දී, ‘කෝවිඞ් 19’ ආසාදිතයන්ගෙන් ‘වෝ ඉගුගානියෝ’ නගරයේ රෝහල් පිරී යන්න විය. පෙබරවාරි 21 වැනිදා, ඉතාලියෙන් පළමු කොරෝනා වයිරස මරණය වාර්තා විය. එම මරණය වාර්තා වූයේ ද ‘වෝ ඉගුගානියෝ’ නගරයෙනි. වැනීසියට නුදුරින් පිහිටි ‘වෝ ඉගුගානියෝ’ කුඩා නගරයකි. ඒ අනුව, නගරයේ සෞඛ්‍ය බලධාරීන් වයිරසය තුරන් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක විය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ආසාදිතයන් ඉහවහා යද්දී, දිනපතා සිය ගණනින් මිය යද්දී, හුබෙයි බලධාරීන් පමණක් නොව, චීන රජය ද එක් වී දලදඬු ක්‍රියා මාර්ග රැසක් අනුගමනය කළේය. ජනතාව ආරක්ෂා කර ගැනීමට කළ මෙම ක්‍රියා මාර්ග කොතරම් සාර්ථකදැයි අද පෙනී යයි. කෙසේ නමුත් එදා, බටහිර රටවල් චීනයට දොස් නගන්න වූයේ චීන රජය සිවිල් අයිතීන් උල්ලංගනය කරන බවටය. වයිරසය දරුණු අන්දමින් ව්‍යාප්ත වෙද්දී වූහාන් නුවර පමණක් නොව, හුබෙයි පළාතේ නගර 15 කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම වසා දැමීම (ලොක් ඩවුන්) සිදුවිය. චීනය කළ ආකාරයට දලදඬු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම බටහිර රටවල කළ නොහැකිය. විශේෂයෙන් සිවිල් අයිතීන්, මානව හිමිකම් ගැන නිරන්තරයෙන් කතා කරන, සොයා බලන යුරෝපීය බටහිර රටවලට එවැනි දලදඬු ක්‍රියා මාර්ග සුදුසු නොවෙයි.

පළමු මරණය වාර්තා වීමත් සමඟ නගරය ලොක් ඩවුන් කිරීමට නගර බලධාරීන් තීරණය කළේය. ඒ අනුව, කාටවත් නගරයෙන් පිටවීමට හෝ නගරයට පැමිණීම හෝ කළ නොහැකි විය. නගර වැසියන්ට නිවෙස්වල රැඳී සිටින ලෙස උපදෙස් ලැබුණි. කුඩා නගරයක් වීමත්, ජනගහනය 3,300 කට සීමා වීමත් නිසා නගර බලධාරීන්ට අවශ්‍ය ආධාර සහ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම පහසුවක් විය. පසුගිය මාර්තු 6 වැනිදා සිට, රෝග ලක්ෂණ පෙන්නුම් කළත් නැතත්, නගරයේ සියලු දෙනා කොරෝනා පරීක්ෂණයට යොමු කරවන ලදී. කුඩා නගරයක් නිසා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ මෙය කළ හැකි විය. මෙම පරීක්ෂා කිරීම් අනුව, ආසාදිතයන් සිටින්නේ නම් ඔවුන් හඳුනා ගැනීම සිදුවුණු අතර, එම පිරිස් නිවෙස්වල හෝ නිරෝධායන මධ්‍යස්ථානවල හෝ නිරෝධායනය කෙරුණි. ‘කෝවිඞ් 19’ වයිරසයේ ඇති බිහිසුණුකම වන්නේ, එය ඔබට නෙකාදැනීම, ඔබට ආසාදනය වී තිබිය හැකිය. ඔබ තුළින් කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවෙයි. රෝගී නොවන ඔබ වාහකයකු වෙයි. ඔබගෙන් වයිරසය අන් අයට බෝ වෙයි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ. රෝගී වුවත් නැතත් සෞඛ්‍ය බලධාරීන්, වූහාන් වැසියන්ට මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කළේ මේ නිසාය. වූහාන් බලධාරීන් වයිරසය මැඬලීම කළේ ඒ අනුවය.

‘වෝ ඉගුගානියෝ’ නගර වැසියන්ට එසේ පැලඳීමට මුඛ ආවරණ ප්‍රමාණවත් අන්දමින් තිබුණේ නැත. සෞඛ්‍ය බලධාරීන් සෑම නිවසකටම යමින් ලොකු කුඩා සෑම කෙනකුම කෙරෝනා පරීක්ෂණයට ලක් කළේය. ප්‍රතිකාර අවශ්‍ය ආසාදිතයන් රෝහල් වෙත යැවීම සිදුවිය. ඇතැමුන් ස්වයං නිරෝධායනයට ලක් කෙරුණි. ‘වෝ ඉගුගානියෝ’ නගර වැසියෝ සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නිසි ලෙස පිළිපැඳීමට කටයුතු කළහ. ආත්මාර්ථකාමී වූයේ නැත. වයිරසයේ බරපතලකම ඔවුන් අවබෝධ කරගෙන තිබුණි.

පළමු සතියේ පරීක්ෂා කර බලද්දී ‘වෝ ඉගුගානියෝ’ නගරයේ ආසාදිතයන් 89 දෙනකු සිටින බව තහවුරු විය. එම 89 දෙනා නිරෝධායනය කිරීම වහා සිදුවිය. ඔවුන් ඔවුන්ගේ පවුල්වල අයගෙන් සහ සෙසු සමාජයෙන් හුදෙකලා කිරීම සිදුවිය. දෙවැනි සතියේ පරීක්ෂා කර බලද්දී හමුවූයේ ආසාදිත පුද්ගලයන් 6 දෙනකු පමණය. ඔවුන් ද පෙර කළ ආකාරයට නිරෝධායනයට යොමු කෙරුණි. ‘වෝ ඉගුගානියෝ’ නගරයේ වයිරසය ව්‍යාප්තවීම පාලනය මේ අනුව සිදුවිය. මේ සියල්ල සිදු කිරීමට ‘වෝ ඉගුගානියෝ’  නගර බලධාරීන්ට උපදෙස් ලැබුණේ පුද්ගලයන් දෙදෙනකුගෙනි. ‘වෝ ඉගුගානියෝ’ වැසියන්ගේ වාසනාවට, බලධාරීහු එම දෙදෙනාට කන් දුන්හ.

එම දෙදෙනාගෙන් කෙනකු ඇන්ඩි්‍රයා ක්‍රිස්ටානී නමැති මහාචාර්යවරියයි. මැය පැඩුවා විශ්ව විද්‍යාලයේ වයිරස සම්බන්ධයෙන් විශේෂඥවරියකි. අනෙක් තැනැත්තා ඇන්තෝනියෝ කැසෝනේ ය. මොහු ඉතාලි වසංගත රෝග වැළැක්වීමේ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙකි. ‘වෝ ඉගුගානියෝ’ නගර බලධාරීන් වයිරසය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත්තේ සහ ක්‍රියාත්මක කළේ පියවරෙන් පියවර ඇන්ඩි්‍රයා ක්‍රිස්ටානී සහ ඇන්තෝනියෝ කැසෝනේ ට කන් දෙමිනි. ‘කෝවිඞ් 19’ කොරෝනා වයිරස පවුලේ අලුත්ම වයිරසයයි. වයිරසයක් ක්‍රියාත්මක වන විදියක් තිබෙනවා. වයිරසවේදීන් හැටියට අප ඒ ගැන දන්නවා. ඒ අනුව අප ක්‍රියාත්මක වුණා. වයිරසය නගරයෙන් තුරන් කිරීමට අපට හැකියාව ලැබුණා’ යැයි ඇන්ඩි්‍රයා ක්‍රිස්ටානී පැහැදිලි කර තිබේ.

නගර වැසියන් පරීක්ෂා කිරීම සිදුවූයේ පැඩුවා විශ්ව විද්‍යාලයේ මැදිහත් වීමෙනි. රතු කුරුස සංවිධානයේ සහාය ද ඊට හිමිවිය. ‘පසුගිය මාර්තු 6 වැනිදා පඩුවා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ උදවු ඇතිව අප වෝ ඉගුගානියෝ නගරයේ 3,000 කට ආසන්න සියලුම දෙනා පරීක්ෂා කළා. රෝග ලක්ෂණ පෙන්නුම් කළ සහ නොකළ සියලුම දෙනා පරීක්ෂා කළා. ඒ අනුව, වයිරසය තවත් ව්‍යාප්තවීම නැවැත්වීම සිදු කළා. දින 14 ක් ඇතුළත අපට හැකියාව ලැබුණා වයිරසය මුළුමනින්ම වෝ ඉගුගානියෝ නගරයෙන් තුරන් කරන්න.’ යැයි ඇන්තෝනියෝ කැසෝනේ පැහැදිලි කර තිබේ.

ඉතාලියේ ප්‍රධාන සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත්තේ රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන්නේ නම් පමණක් ‘කෝවිඞ් 19’ පරීක්ෂණය සිදු කරන ලෙස ය. ඉතාලියේ සෙසු නගර සහ පළාත්වල සිදුවන්නේ එයයි. ලෝකයේ සෙසු රටවල සිදුවන්නේ ද එයයි. කෙසේ නමුත් 3,300 ක් තරම් කුඩා ජනගහනයක් වෙසෙන ‘වෝ ඉගුගානියෝ’ නගරයේ කතාව ඊට වෙනස් විය. නගරයේ සියලු දෙනා පරීක්ෂා කිරීම කළ යුතු බවත්, ඒ අනුව වයිරසය තවත් පැතිරීම පාලනය කළ හැකි බවත් නගර බලධාරීන් පියවර ගත්තේ එය ඔවුන්ට කළ හැකි වූ බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා සාර්ථකව වයිරසය පරාජය කිරීමට හැකියාව ලැබී තිබේ.

‘වෝ ඉගුගානියෝ’ නගර බලධාරීන් වයිරසය තුරන් කළ ආකාරය ලොවට ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගෙන ඇත. ‘අපට සටන් කරන්න සිදුවී තිබෙන්නේ අදිසි සතුරකු සමඟ. ඒ සටන ජය ගැනීමට නම් සෑම කෙනකුම පරීක්ෂා කළ යුතුයි. වෙන විකල්පයක් ඇත්තේ නැහැ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ.

රොයිටර් ඇසුරිනි

 

 


RECOMMEND POSTS