වට්ස් ඇප් අවුල



වට්ස් ඇප් ගැන නොදන්න කෙනෙක් නැති තරම්ය. අද වට්ස් ඇප් සම්බන්ධයෙන් ලොව පුරා ලොකු කතාබහක් නිර්මාණය වී තිබේ. වට්ස් ඇප් අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

වට්ස් ඇප් හරහා පසුගිය දිනවල ඔබට පණිවුඩයක් දකින්න ලැබෙන්න ඇත. උදෑසන අවදි වී, වට්ස් ඇප් භාවිතයට සැරැසෙද්දී මේ පණිවුඩය ඔබට ලැබී තිබෙන්න ඇත. එසේ ලැබී නැතිනම්, ඉදිරියේ දී ඔබට එය ලැබෙනු ඇත.

සාමාන්‍යයෙන් අප ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතනයෙන් හෝ පරිගණකයෙන් හෝ මෘදුකාංග පරිහරණය කරද්දී, ඒවා යවත්කාලීන කෙරේ. ඒ වඩාත් ගුණාත්මක සහ ආරක්ෂිත සේවාවක් ලබා දීමටය. 'ප්‍රයිවසි පොලිසි' සහ 'ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්' යනුවෙන් ලියවිල්ලකට ඔබ එකඟද? නැද්ද? යන්න සම්බන්ධයෙන් විමසන්නේ මේ සඳහාය. මෙවැනි ලියවිලි දීර්ඝ මෙන්ම කියවීමට වෙහෙසර ඒවාය. එහෙයින් අප කවුරුත් කරන්නේ, 'මා එකඟයි' යනුවෙන් ඊට කැමැත්ත දැක්වීමය. ඔබ 'අකමැතියි' වන්නේ නම්, එම මෘදුකාංගය භාවිත කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. වට්ස් ඇප් සම්බන්ධයෙන් ද ලැබෙමින් පවතින පණිවුඩය මීට සමානය.

වට්ස් ඇප් අයත් වන්නේ මාර්ක් සකර්බර්ග්ගේ ෆේස්බුක් පවුලටය. වට්ස් ඇප් හරහා ලැබුණු පණිවුඩයේ සඳහන් වන්නේ, වට්ස් ඇප් සමඟ සම්බන්ධ වීමට ඔබ වට්ස් ඇප් වෙත ඉදිරිපත් කර ඇති ඔබේ දත්ත සහ චැට් කරද්දී (පණිවුඩ හුවමාරුවේදී) ඔබේ පෞද්ගලික අදහස් සහ තොරතුරු ෆේස්බුක් පවුලට අයත් සෙසු සමාජ මාධ්‍ය සමඟ හවුල් කරන බවය.

වට්ස් ඇප් හරහා ලැබුණු පණිවුඩයට ඔබ කැමැතියි හෝ අකමැතියි කියා අනිවාර්යයෙන් ප්‍රතිචාර දැක්වීමක් කළ යුතුය. ඒ, ලබන පෙබරවාරි 8 වැනිදා ට පෙරය.

වට්ස් ඇප් ගැන කෙටි හැඳින්වීමක් කළොත්, වට්ස් ඇප් පණිවුඩ හුවමාරු සේවය නිර්මාණය කළේ ජැම් කෝම් සහ බ්‍රයන් ඇක්ෂන් යන දෙදෙනාය. මොවුන් වට්ස් ඇප් සකස් කළේ වට්ස් ඇප් සමඟ සම්බන්ධ වී, එය භාවිතයට ගන්නේ නම්, දෙදෙනකු හෝ කණ්ඩායමක් හෝ අතරේ සිදුවන කතාබහ එම පුද්ගලයන්ට පමණක් සීමා වන අයුරිනි. පණිවුඩ සියල්ල හුවමාරු වන්නේ කේත ක්‍රමයකටය. එහෙයින්, අදාල පුද්ගලයන් ට පමණක් ඒවා පැහැදිලිව දකින්න ලැබෙන අතර සෙසු කිසිදු පාර්ශ්වයකට ඒවා බැලීමට හැකියාවක් ලැබෙන්නේ නැත. ඉදිරියේ දී මෙම තත්ත්වය වෙනස් වනු ඇත.

ෆේස්බුක් සමාගම, වට්ස් ඇප් මිලදී ගත්තේ 2014 වසරේදීය. ජැම් කෝම් සහ බ්‍රයන් ඇක්ෂන් දෙදෙනාට කැමැති විදියට වට්ස්ඇප් පවත්වාගෙන යන්නැයි ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවැසුවත්, 2016 දී, වට්ස් ඇප් හරහා ලාබ ලැබීම සකර්බර්ග්ගේ අරමුණ විය. ඒ අනුව, හිමිකාරීත්ව බලය භාවිතයට ගනිමින්, ෆේස්බුක් හා සම්බන්ධ මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍යවලට වට්ස් ඇප් සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළ ඇරැඹිණි. කොම් සහ ඇක්ෂන් දෙදෙනා මීට විරෝධය පළ කළත් ඔවුන්ට කළ හැකි දෙයක් නොවිණි. ඉදිරියේ දී වට්ම් ඇප් වෙනස් කරන්නේ ව්‍යාජ පුවත්, ව්‍යාජ ගිණුම් සොයා ඒවා ඉවත් කරමින් පරිශීලකයන් ට වඩාත් සුදුසු ආකරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් යැයි ෆේස්බුක් සමාගම පෙන්වා දී තිබේ.  

අද වනවිට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඉලොන් මස්ක් ය. මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වූයේ, ඇමසන් සමාගමේ ජෙෆ් බෙසෝස් අභිබවා යමින් පසුගිය 7 වැනිදාය. වට්ස් ඇප් හරහා ආ පණිවුඩය, ඉලොන් මස්ක් ට ද ලැබුණි.

මස්ක් පමණක් නොව, ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, ව්‍යාපාර, මූල්‍ය ආයතන ආදි බොහොමයක් ඔවුන්ගේ පණිවුඩ හුවමාරුවට වට්ස් ඇප් භාවිතා කරයි. එම පණිවුඩවල අඩංගු දේ පිටත තෙවැනි පාර්ශ්වයක් අතට පත් වෙනවාට ඔවුන් කිසිවකු කැමැත්තක් දක්වන්නේ නැත.

වට්ස් අප් පණිවුඩය සම්බන්ධයෙන් මස්ක් සිය ට්විටර් ගිණුම හරහා පැවැසුවේ වචන දෙකක් පමණි. ‘සිග්නල්වලට මාරුවෙන්න’ එම වචන දෙකය. සිග්නල් යනු පණිවුඩ හුවමාරු එසේත් නැතිනම් චැට් සේවාවකි. මෙය දක්ෂයන් බොහෝ පිරිසක් එකමුතුව නිර්මාණය කළ එකක් වන අතර, කිසිදු ප්‍රධාන සමාගමක හිමිකාරීත්වයට යටත් වන්නේ නැත.

වට්ස් ඇප් තරම් නොවුණත්, වට්ස් ඇප් මීට පෙර ලබා දුන් ආකාරයට හුවමාරු වන පණිවුඩයේ ඇති දේ පමණක් නොව, පණිවුඩය යවන පාර්ශ්වය සහ ලබා ගන්නා පාර්ශ්වය අතර රහාස්‍යභාවය ආරක්ෂා වෙයි. මස්ක් සිග්නල්වලට මාරු වූවා පමණක් නොව, සිග්නල් වැඩි දියුණු කිරීමට මුදල් ආධාර පවා ලබා දුන් බව පැවැසෙයි.

එන්.ඩී.ටීවී ඇසුරිනි


RECOMMEND POSTS