ලොව දිගම ‘මුහුදු මාර්ගය’



පාලමකින් සහ උමං මාර්ගයකින් සමන්විත, ලොව දිගම ‘මුහුදු මාර්ගය’ චීන ජනාධිපති ෂී ජින්පින් අතින් අද (23) විවෘත  විය.

නූතන ඉන්ජිනේරු විස්කමක් ලෙස සැලකෙන මෙම ‘මුහුදු මාර්ගය’ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ මීට නව වසරකට පෙර 2009 වසරේ දෙසැම්බර් 15 වැනිදාය. ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 20 කි.

පාලම සහ උමං මාර්ගය, චීනයේ ෂුහායි නගරයත්, චීනයේ කෙළවරක පිහිටි මැකාව් ස්වයං පාලන ප‍්‍රදේශයත් අතරින් ‘පර්ල් රිවර්’ ඩෙල්ටාව හරහා හොංකොං දෙසට ඉදි කර තිබේ. පාලම සහ උමං මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 55 කි.

චීනයේ ෂුහායි නගරයෙන් ආරම්භ වන පාලමේ දිග කිලෝ මීටර් 22.9 කි. එය මුහුද මැද නිර්මාණය කළ කෘති‍්‍රම දූපතකින් අවසන් වෙයි. එම දූපත හරහා මුහුදු පතුල දිගේ උමං මාර්ගය ආරම්භ වෙයි. එහි දිග කිලෝ මීටර් 6.7 කි. මුහුදු මාර්ගය ඇත්තේ මීටර් 44 ක් ගැඹුරු මුහුදු පතුළේය. එය අවසන් වන්නේ තවත් කෘති‍්‍රමව ඉදි කළ දූපතකිනි. ඉන්පසු මාර්ගය හොංකොං දෙසට දිවෙන පාලමට සම්බන්ධ වෙයි.

විවෘත කිරීමේ උත්සවය අද (23) චීනයේ ෂුහායි නගරයේ පිවිසුම අසලදී පැවැත්විණි. චීන ජනාධිපති ෂී ජින්පින්ට අමතරව, හොංකොං සහ මැකාව් පාලකයෝ මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

චීනයේ බලපෑමට යටත්ව පැවැතිය ද හොංකොං සහ මැකාව් ස්වයං පාලන ප‍්‍රදේශ දෙකකි.

පාලම විවෘත කිරීමේ විශේෂ උත්සවයට සහභාගී වුණු හොංකොං ප‍්‍රධානී කැරී ලාම්, පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් සතුට පළ කළාය. නව පාලම වර්ණනා කරමින්, පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනාධිපති ෂී ජින්පින් පැමිණීම සම්බන්ධයෙන් ඇය ස්තුති කළාය.

පාලම ඉදිකර ඇත්තේ පවතින නවීනතම තාක්ෂණය සහ අමුද්‍රව්‍ය භාවිත කරමින් යැයි එහි චීන ඉන්ජිනේරුවෝ පවසති. භූමි කම්පාවලට පමණක් නොව බිහිසුණු ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවලට පවා ඔරොත්තු දීමේ හැකියාව මෙම පාලම සතුව ඇතැයි ද පැවැසෙයි. පාලම ඉදිකිරීමට ටොන් 4,00,000 ක වානේ යොදාගෙන ඇත. එවැනි වානේ ප‍්‍රමාණයකින් අයිෆල් කුලූනු 60 ක් නිර්මාණය කළ හැකි බව පැවැසෙයි.

නව පාලම සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් අදහස් පළ වී ඇත. එය ඉන්ජිනේරු විස්කමක් ලෙස ඇතැමුන් සැලකුවත්, ඇතැම් චීන පුවත් සේවා මෙම පාලම නම් කර ඇත්තේ ‘මරණයේ පාලම’ කියාය. ඒ, පාලම ඉදිකරද්දී ඉදිකිරීමට සම්බන්ධ සේවකයන් 18 දෙනකු මියයෑම හේතුවෙනි.

පාලම ඉදි කිරීම චීනය දෙසින් සහ හොංකොං දෙසින් ආරම්භ වී ඇත. අනතුරු හේතුවෙන් චීන ඉදිකිරීම් සේවකයන් 9 දෙනකු සහ හොංකොං ඉදිකිරීම් සේවකයෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊට අමතරව ඉදිකිරීම් කටයුතුවල නියැලූණු සේවකයන් 100 ක පිරිසත් තුවාල ලබා ඇත.

පාලම ඉදිකිරීම මගින් සාගර ජීවීන් රැසකට තර්ජන එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම මුහුදු කලාපයට පමණක් ආවේණීක චීන ධවල ඩොල්ෆින් වදවීමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි ද පැවැසෙයි.


(ඒ.එෆ්.පී සහ බී.බී.සී.ඇසුරිනි)


RECOMMEND POSTS