ලන්ඩන් නුවර අලුත්ම වෙනස



ලන්ඩනයේ උමං දුම්රිය තුළ සහ දුම්රිය නැවතුම්පොළ තුළ නිවේදන ප්‍රචාරය කිරීමේ දී භාවිතා කෙරෙන "නෝනාවරුනි මහත්වරුනි" ("ladies and gentlemen") යන ආමන්ත්‍රණය ඉවත් කිරීමට ලන්ඩන් ප්‍රවාහන සේවය තීරණය කරයි.

ඒ වෙනුවට කිසිදු ලිංගභේදයක් නොදැක්වෙන "hello everyone" යන යෙදුමෙන් ආමන්ත්‍රණය කරන ලෙස ලන්ඩනයේ උමං දුම්රිය සේවකයන්ට උපදෙස් දී තිබේ.එහි බලධාරීන් පවසන්නේ සියලුදෙනා "සාදරයෙන් පිළිගන්නා බව" අවධාරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවය.

ඒ අනුව "නෝනාවරුනි මහත්වරුනි" යනුවෙන් පටිගත කොට ඇති සියලුම නිවේදන වෙනස් කොට ඒවාට නව ආමන්ත්‍රණය යොදා නැවත පටිගත කිරීමට නියමිතය.

ලන්ඩන් නුවර පුරා විහිදී ඇති විවිධත්වය විදහා දැක්වෙන පරිදි සහ සියලු ජන ප්‍රජා ඇතුළත්වන පරිදි භාෂාව යොදා ගැනීමට කටයුතු කරන බව ලන්ඩන් ප්‍රවාහන ජාලයේ අධ්‍යක්‍ෂ මාර්ක් ඊවර්ස් පැවසීය.

ලන්ඩනයේ උමං දුම්රිය සේවය ගෙන ඇති මෙම තීරණය, සමලිංගිකත්වයට සම තැන ලබාදීම අගයන කණ්ඩායම්වල පැසසුමට ලක්වී ඇති අතර ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් ගේ සහයෝගය ද ඊට හිමිවී තිබේ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS