රහසිගත මෙහෙයුමකින් අල්ලා ගත් මධුෂ්



මාකඳුරේ මධුෂ් යනු මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන්නෙකි. ඒ මධුෂ් පසුගිය දිනෙක ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමත් සමඟය.

මෙරට සිදුවූ මිනීමරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඇතුළු දරුණු අපරාධ  බෙහෝමයකට  සම්බන්ධව  සිටි  මාකදුරේ මධුෂ්  බොහෝ දෙනකු හදුන්වනු ලබන්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් යන අන්වර්ථ නාමයෙනි.

ඩුබායි රටේ සැඟව සිට  මෙරට නීතියට ඔච්චම් කරමින්  පාතාලය සහ අපරාධ මෙහෙයවූ  මාකදුරේ මධුෂ් තවත් පාතාල සගයන් පිරිසක්  සමග ඩුබායි හි සුපිරි හෝටලයකදී එරට අත්අඩංගුවට පත්වූයේ ඉකුත් 5 වැනිදාය.    පසුගිය කාලයේ සිදුවූ සෑම අපරාධයකටම පාහේ අදාළව මධුෂ්ගේ  නම ඈඳී තිබිණි. තිබේ.

මෙරට ආරක්ෂක අංශ විසින් බොහෝ කාලයක සිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මධුෂ් වසර 2 ට අධික කාලයක් ඩුබායිහි සැඟව සිටිමින් ද මෙරට අපරාධ මෙහෙයවනු ලැබුවේ ආරක්ෂක අංශවල ඇසට වැලි ගසමිනි.  සමරසිංහ ආරච්චිලාගේ  මධුෂ් ලක්ෂිත නොහොත්, මාකදුරේ මධුෂ් නැමැත්තා උපත ලැබුවේ කඹුරුපිටියේ දීය. ඒ අග හිඟකම්වලින් පිරි තිබු පවුලකය. ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වූයේ  88-89  භීෂණ සමයේය.  එකල මධුෂ්ගේ මව ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයකට ලක්ය මිය ගියාය.  ඒ එවකට තහනම් සංවිධානයක් යැයි කී සංවිධානයක් විසින් මාතර ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් බලහත්කාරයෙන් කැඳවා තිබු රැස්වීමකට සහභාගි වී එමින් සිටි අතරවාරයේදීය‍.

          මවගේ අකල් මරණයෙන් පසු  මධුෂ්ලාගේ ජීවිතයට කණකොකා හැඬවිණි.  ඒ වනවිට මධුෂ් අට හැවිරිදි වියේ පසුවිය. එතැන් පටන් ඔහු සහ බා සොයුරා ඇති දැඩි වූයේ සහ ලොකු අම්මා අසලය. කාලයාගේ ඇවෑමෙන් පියා වෙනත් විවාහයක් කර ගත් අතර මධුෂ්ගේ සහ මල්ලීගේ සියලු වගකීම් පැවැරුණේ ලොකු අම්මාටය. 

එම කාල වකවානුව තුළ සාමාජයේ නොයෙක්  අසාධාරණවලට, තාඩනපීඩනවලට ලක්වූ මධුෂ් හිතුවක්කාර දරුවකු වූ අතර සාමාන්‍ය පෙළ විභායෙන් කුලී වැඩවල නිරත විය. ඔහු ලී ඉරුවේය. ක්‍රම ක්‍රමයෙන් ඔහු  ජංගම ලී  මෝලක් පවත්වාගෙන ගිය අතර ලී මෝල් හිමියන්ගෙන් ඔහුට නොයෙක් තර්ජන එල්ල විය.  මධුෂ් තමන්ට   තර්ජනය කරන පිරිසට  පෙරළා චණ්ඩිකම් පෑවේය.  ඔහුට උපකාර කරන අයට පෙරළ පෙරළා උපකාර කිරීමට ඔහුගේ සිරිත විය.   

මේ කාලයේ මධුෂ්ගේ අතමිට සරුවෙමින් පැවති අතර ඔහුට මිතුරන්ගෙන් ද කිසිදු අඩුවක් නොවීය. ඒ අතර මත්කුඩු ජාවාරම්කරුවන්, කප්පම්කරුවන් හා චණ්ඩි ද අඩු නොවීය. අවසානයේ මධුෂ් ගේ දිවිය වෙනත් මාවතකට හැරී තිබිණි. ඔහු බස් රථවලින් කප්පම් ගැනීම ආරම්භ කළේය.   වැඩිකල් නොගොස් ඔහු මාතර කප්පම් කල්ලි  මෙහෙයවන නායකයකු බවට පත් වූ මධුෂ්  කප්පම් ගැනීමේ ක්‍රියාවෙන් ඔබ්බට ගොස් චණ්ඩියකු වශයෙන් ද ප්‍රසිද්ධි විය. 

          ඔහු අවස්ථා කිහිපයකදීම  පොලිස් අත්අඩංගුවට පත් වුව ද ඇප මත බන්ධනාගාරයෙන් පිටතට පැමිණි මධුෂ් නැවත වරක් සිය සුපුරුදු චණ්ඩිකම්වල නිරත විය. බන්ධනාගාර ගතව සිට  අලුත් හිත මිතුරන් ද හඳුනා ගනිමින් පිටතට පැමිණෙන මධුෂ් අලුත් මිත්‍රයන් හා එක්ව කප්පම් ජාවාරම ජයටම දිගටම කරගෙන ගියේය.

මධුෂ්ට පළමු වරට මිනීමැරුම් චෝදනාවක් එල්ලවූයේ 2002 වසරේ නොවැම්බර් 29 වැනිදාය. ඒ මාතර මාවරල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙනි. ඝාතනයට ලක්වූයේ ඒ අබේසිංහ නැමැති අයෙකි. ඉන් පසුව 2004 වසරේ ජුලි 17 වැනිදා නැවතත් මාවරල ප්‍රදේශයේදි තවත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. ඒ දෙදෙනාම ව්‍යාපාරිකයන්ය.  ඔවුන් ඝාතනය කළේ මධුෂ්ට කප්පම් නොගෙවූ නිසා යැයි පැවසේ.

නමුත් මෙම ඝාතන  වෙනුවෙන් මධුෂ්ට එරෙහිව සාක්කි දීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ නිසා ඔහු එම නඩු දෙකෙන් නිදහස් විය. මාතරින් නොනැවතුණු මධුෂ් කල්ලියක් සංවිධානය කරගෙන මංකොල්ලයන් සදහා මීගමුවට පැමිණි අතර 2005 මැයි 11 වැනිදා මීගමුවේ ලිසිං සමාගමක් කොල්ල කෑවේය. මිගමුවේ තවත් පුද්ගලික ආයතනයක් කොල්ල කෑ මධූෂ් පසුපස පොලීසිය හඹා එමින් සිටින බව දැනගත් ඔහු සැගවුණේය. කෙසේ වුවත් එහිදී ඔහු අත්අඩංගුවට පත්වූ අතර එය මධුෂ් මෙරට පොලිස් අත්අඩංගුවට  අවසන් අවස්ථාව විය.

එම අපරාධ සම්බන්ධයෙන්  ඔහු 2004 සිට 2010 දක්වා කාලය තුළ බන්ධනාගාර ගතව සිටි අතර එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් හදුනාගනිමින් බන්ධනාගරයේ සිට තම ප්‍රතිවිරුද්ධ කල්ලි  සාමාජිකයන්  හා තම ක්‍රියාකලාපයන්ට  විරුද්ධ  පිරිස්  ඝාතනය සැළසුම් කළ අතර ගෝලයින් ලවා  මත්කුඩු ජාවාරම ද කරගෙන ගියේය.

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතව සිටි  ඩැනී හිත්තැටිය මහතා 2006 ජුනි 11 වැනිදා මාකඳුරේ පිහිටි සිය නිවසේදී ඝාතනය වූ අතර මෙම ඝාතනය සම්බන්ධවද මාකදුරේ මධුෂ්ට චෝදනා එල්ල විය. මධුෂ්  ඔහුගේ අපරාධ වසන් කර ගැනීම සදහා 2016 වසරේ බෝට්ටු මගින් ඉන්දියාවට පලා ගියේය.

ඉන්දියාවට පලා මධුෂ් එහි සිට මෙරට සිටින ගෝලයන් මෙහෙයවු අතර ඔවුන්ට අවශ්‍ය ආයුධ ලබාදෙමින් අපරාධ රැසක්ම මෙහෙයවූයේය.       වසර 2017 මැයි 9 වැනිදා රාත්‍රියේ  පිළියන්දල නගරයේ දී ඔහු ගේ මෙහෙයවීමෙන් පැමිණි පිරිසක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබූ අතර එම සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයකු හා කුඩා දැරියක් මියගොස් රංගජීව මහතා ඇතුලු පස් දෙනෙක් තුවාල ලැබුහ.

මකදුරේ මධුෂ් කළ අපරාධ අතර 2017 වසරේ සිදුකළ සමයං නැමති පාතාල නායකයා ඝාතනය ද වඩාත් කතාබහට ලක්වූ සිද්ධියකි. ඔහුගේ ගෝලයන් බන්ධනාගාර නිලධාරීන් වශයෙන් වෙස් වලාගෙන පැමිණ බන්ධනාගාර බස් රථයකින්  රැගෙන යමින් සිටි  අරුණ උදයන්ත නොහොත් සමයං නැමැත්තා වෙඩි තබා ඝාතනය කළහ. මෙම වෙඩි තැබීමෙන් සමයං   බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුලු හත් දෙනෙක් මියගොස් තිබිණි.

මධුෂ්ගේ  ඝාතන ලසිස්තුවේ කෲරතම ඝාතනයක්  වශයෙන් හැදින්වෙන්නේ  'කොස්මල්ලි' නැමති පාතල සාමාජිකයා ඝාතනය වන අතර මාතර ප්‍රදේශයේ දී ඔහුගේ ගෙල කපා ඝාතනය කර හිස කොටස අලුත්කඩේ උසාවිය ඉදිරිපිටට දමා තිබුණි. දැනට  මධුෂ්ගේ අනුදැනුම හා මෙහෙයුවීම  මත  ඝාතන 50 ට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත. ඩුබායි රටේ  සැලව සිටියද ඔහු මෙහෙයවූ ඝාතන වල අඩුවක් නොවිණි.

මධුෂ් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන අතර ඔහු  ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ඇතුළු රටවල් බොහොමයක මත් කුඩු ජාවාරම්කරුවන් හා එක්ව ඔවුන්ගේ මත්කුඩු බෝට්ටු මගින් මෙරටට එවා ගෝලයන් හරහා මෙරට තුළ ජාවාරම් සිදුකරනු ලබයි. ඉන් ඔහුට උණ්ඩියල් ක්‍රමයට කෝටි ගණනින් මුදල් ලැබෙන අතර ගෝලයන් යොදවා කප්පම් ජාවාරම ද  දිගටම සිදුකරගෙන යන බව වාර්තා වේ. ඔහු ලංකාවේ පමණක් නොව ඩුබායිවලද හෙරොයින් ජාවාරම පවත්වාගෙන යන බවට බුද්ධි අංශ   වාර්තා වල සදහන් වේ.

මධුෂ්ගේ පියාගේ අවමඟුල ද බොහෝ දෙනකුගේ අවධානයට යොමු වූවක් වූ අතර එය සිදු වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මස දිනකය. මධුෂ් රුපියල් කෝටි ගණනින් වියදම් කර ගුවනින් මල් දමමින් පියාට ගෞරව දැක්වීය.

ඇරුව්වල ව්‍යාපාරිකයකුගේ නිවසට 2018.11.5 දින පොලිස් හා ව්‍යාපාරිකයන් වෙසින් ගොස්  එහි ව්‍යාපාරිකයා බිය ගන්නා රුපියල් කෝටි 700 ට අධික වටිනා  නිල් දියමන්තියක් කොල්ලකෑම  මධුෂ්ගේ  ගිණුමට එක් වු නවතම අපරාධයකි.

මෙවන් වු අපරාධ රැසක් සිදුකරමින් බුඩායි රටේ සැගව සිටි මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූයේ ද ශ්‍රී ලංකා පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ රහසිගත මෙහෙයුමක අවසන් ප්‍රතිඵලය ලෙසිනි. ඩුබායිහි පිහිටි තරු හයේ හෝටලයක පැවති සාදයක් අතරතුරදී අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු පිරිස අතර මෙරට ජනප්‍රිය කලාකරුවන් ඇතුළු 25 දෙනෙක් වූහ. මේ වන විට ඔවුන් සම්බන්ධව එරට නීතිමය පියවර ගැනෙමින් සිටින බව වාර්තාවන අතර ඔහු මෙරටට ගෙනඑන්නේද යන්න ගැන තවමත් ස්ථිරව යමක් කියවෙන්නේ නැත.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS