රජ මගුල කෙරෙන හැටි



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය විවාහ මංගල උත්සවය අනිද්දා (19) පැවැත්වෙයි.

මෙය බ්‍රිතාන්‍ය රජ පවුලට ආදරය කරන ලොව කවුරුත් පුලපුලා බලා සිටින මංගල උත්සවයකි. මංගල උත්සවය පැවැත්වෙන්නේ, වින්ඞ්සෝර් හි, වින්ඞ්සෝර් මාලිගය කේන්ද්‍රකොට ගනිමිනි. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ විවාහ මංගල උත්සව පැවැත්වෙන්නේ සතියේ දිනයකය. ඒ වෙනුවෙන් එම දිනය නිවාඩු දිනයක් බවට පත් කෙරේ. කෙසේ නමුත් හැරී කුමරු සහ මේගන් මාකෙල් ඔවුන්ගේ මංගල දිනය සඳහා සෙනසුරාදා දිනයක් තෝරාගෙන තිබීම සම්ප්‍රදාය බිඳීමක් බව පැවැසෙයි.

හැරී කුමරුන්ගේ වැඩිමල් සොහොයුරු විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන්ගේ විවාහ මංගල්‍යය පැවැත්වූයේ සිකුරාදා දිනයක අතර, වේල්සයේ චාල්ස් කුමරු (හැරී සහ විලියම්ගේ පියා) සහ ඩයනා කුමරියගේ විවාහ මංගල උත්සවය පැවැත්වූයේ බදාදා දිනයක යැයි බි්‍රතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙයි. 

හැරී මේගන් විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබ සහභාගී වෙන්නේ කවුරුද සහභාගී නොවන්නේ කවුරුද යන්න සම්බන්ධයෙන් කා අතරේත් උනන්දුවක් පවතී.

මංගල උත්සවය ඉතා අලංකාරව පැවැත්වෙනු ඇති නමුත් එය 2011 වසරේ විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් මිඞ්ලිටන්ගේ රාජකීය මංගල උත්සවය මෙන් නොවනු ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.

මංගල උත්සවය ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේත්, වින්ඞ්සෝර් මාලිගයේත් පැවැත්වෙයි. ශාන්ත ජෝර්ජ් දෙව් මැදුර  පිහිටා ඇත්තේ ද වින්ඞ්සෝර් මාලිගයට අයත් භූමියේය.

හැරී කුමරු භෞතීෂ්ම කරනු ලැබුවේ ද මෙම දෙව්මැදුරේය. දෙව්මැදුරේ කටයුතු අවසන් වීමෙන් පසු ප්‍රිය සාද දෙකක් පැවැත්වෙයි. එයින් එකක් සමීප හිතමිතුරන් වෙනුවෙනි. අනෙක ආරාධිත අමුත්තන් වෙනුවෙනි.

ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරට අමුත්තන් පැමිණීමට පටන් ගනු ඇත්තේ බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 9.30 සිට 11 තෙක් කාලයේය.

ආරාධිත අමුත්තන් පැමිණීමෙන් පසු බ්‍රිතාන්‍ය රාජකියයන් 11.20 ට දෙව් මැදුරට පැමිණීමට නියමිතය. මනාලයා හැරී කුමරු දෙව් මැදුරට පැමිණෙනු ඇත්තේ 11.45 ට ය. එලිසබත් මහ රැජින දෙව්මැදුරට පැමිණෙනු ඇත්තේ අවසානයටය. ඒ, 11.55 ටය.

සුවිශේෂී හැඩ වැඩ දැමූ මංගල ඇඳුමින් සැරැසී මේගන් මාකෙල් දෙව් මැදුරට පැමිණෙනු ඇත්තේ 11:59 ටය. ඒ, මල් කුමර කුමරියන් ද පිරිවරාගෙනය. මේගන්ගේ මව ඩොරියා රැග්ලන්ඞ් ද මේගන් සමඟ පැමිණෙනු ඇත. මේගන්ගේ මව ඩොරියා ඇමෙරිකාවේ සිට ලන්ඩනයට පැමිණියේ පසුගිය 15 වැනිදාය. ඒ, ඇගේ දරුවන් (මේගන්ගේ අඩ සොයුරු සොයුරියන්) සමඟය.

හැරී කුමරු සමඟ විවාහ වන ඇමෙරිකන් ටෙලි නිළිය මේගන් මාකෙල් උපත ලබා ඇත්තේ 1981 වසරේ අගෝස්තු 4 වැනිදාය.  ඇගේ සම්පූර්ණ නම වන්නේ රේචල් මේගන් මාකෙල්ය. ‘මේගන්’ යන්න ඇය නමට එක් කරගෙන ඇත්තේ පසුවය. ඒ ටෙලි නිළියක ලෙස ජනප්‍රියවීමටය.

මේගන් බටහිර ලෝකයේ කා අතරේත් ජනප්‍රිය වූයේ ‘සූට්ස්’ නමැති ඇමෙරිකන් ටෙලි කතා මාලාව හරහාය. ‘සූට්ස්’ නීතීඥවරුන් සහ නීතීඥ සමාගමක් වටා ගෙතුණු කතා මාලාවකි. මේ වනවිට ‘සූට්ස්’ කතාංග හතක් තිරගත වී ඇති අතර, මේගන් එහි රංගනයෙන් දායක වූයේ ඇගේ සැබෑ නම ඇති රේචල් නමැති චරිතයටය. මංගල්‍යයට, සූට්ස් කතා මාලාවේ ඇගේ සහෝදර නළු නිළි කැළ ද එක්වනු ඇත.

හැරී කුමරු සමඟ විවාහ වන මේගන් හැරී කුමරුන්ට වඩා අවුරුදු තුනකින් වැඩිමල්ය. හැරී කුමරුන්ගේ වයස අවුරුදු 33 කි. මේගන්ගේ වයස අවුරුදු 36 කි. එපමණක් නොව, මේගන් අසාර්ථක විවාහයකින් අත්දැකීම් ලැබූ තැනැත්තියකි.

මේගන් උපත ලබා ඇත්තේ 1981 වසරේ අගෝස්තු 4 වැනිදාය.   මේගන් උපත ලැබුවේත් හැදී වැඩුණේත් ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ය. වයස අවුරුදු පහේ පටන් ඇය පෞද්ගලික පාසල්වලින් අධ්‍යාපනය ලැබුවාය.

මේගන්ගේ මව ඩොරියා රැග්ලන්ඞ් ය. ඇය යෝග පුහුණුව ලබා දෙන උපදේශිකාවකි. සමාජ සේවිකාවකි. පියා තෝමස් මාකෙල් ය. තෝමස් මාකෙල් සිනමාකරුවෙකි. ඩොරියා සහ තෝමස් දික් කසාද වී ඇත්තේ මේගන්ට අවුරුදු 6 ක් වෙද්දීය.

අමුත්තන් සහ රජ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ පැමිණීමෙන් පසු, සෙනසුරාදා (19) දහවල් 12 වෙද්දී, දෙව් මැදුරේ මංගල කටයුතු ඇරැඹෙනු ඇත. හැරී සහ මේගන් විවාහය සිදු කරනු ලැබන්නේ කැන්ටබරි අගරදගරු විසිනි. දහවල් 1.05 ට නව යුවල වින්ස්ඩෝර් පළාතේ වීදි සංචාරය කරනු ඇත. ඒ, ඔවුන් විසින් තෝරා ගනු ලැබූ අශ්ව කරත්තයෙනි. යුවල, වීදි දෙසට රැස්ව සිටි පිරිස් වෙත අතවනමින්   විනාඩි 25 ක කාලයක් මෙසේ වීදි සංචාරයේ යෙදෙනු ඇත.

සවස 3.30 ට එලිසබත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන්, ශාන්ත ජෝර්ජ් ශාලාවේ දිව භෝජන සංග්‍රහය පැවැත්වෙයි. රාතී 7 ට, ‘ෆොග්මෝර් හවුස්’ හි පැවැත්වෙන ප්‍රියසාදයට නව යුවල එක් වෙයි. මෙම සාදය පවත්වනු ලබන්නේ හැරීගේ පියා, වේල්සයේ චාල්ස් කුමරු විසිනි.

හැරී මේගන් විවාහ මංගල උත්සවයට සහභාගී වන අමුත්තන් කවුරුන්ද යන්න කෙරෙහි ද බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. මංගල්‍යයට සහභාගී වන අමුත්තන්ගේ ගණන 600 කට සීමා වනු ඇති බව පැවැසෙයි.

හැරී කුමරුන්ගේ දෙවැනි මනමාලයා වනු ඇත්තේ අයියණ්ඩිය විලියම් කුමරුන්ය. විලියම් කුමරුන්ගේ වැඩිමල් පුතු ජෝර්ජ් කුමරු සහ දියණිය චාලට් කුමරිය මල් කුමර කුමරියන් පිරිස අතර සිටිති.

මේගන් සිය දෙවැනි මනමාලිය ලෙස කිසිවකු තෝරා ගෙන නැත. දක්ෂ ටෙනිස් ක්‍රීඩිකා සරීනා විලියම්ස්, බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රා, මෝස්තර නිරූපණ ශිල්පිනී ජෙසිකා මුල්රෝනී ආදීහු මේගන්ගේ සමීපතම හෙහෙළියෝය.

මොවුන්ගෙන් කෙනකු දෙවැනි මනමාලිය වනු ඇතැයි කටකතා පැවැතිණි. මේගන් සහ හැරී කුමරු එකිනෙකා මුණ ගැස්වූ තැනැත්තිය ලෙස සැළකෙන්නේ ඇඳුම් විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන මීෂා නෝනූය. ඇයට ද මංගල උත්සවය සඳහා ඇරැයුම් ලැබී ඇත.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හෝ බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් කිසිවකුට මංගල උත්සවයට ඇරැයුම් කර නැත. එපමණක් නොව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද ඇරැයුම් කර නැත. කෙසේ නමුත් හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාට ඇරැයුම් කිරීමට හැරී කුමරු කැමැත්තෙන් පසුවිය. හැරී කුමරු පමණක් නොව, විලියම් කේට් යුවල ද ඔබාමාගේ සමීපතම මිතුරන් ලෙස සැළකෙයි.

ට්‍රම්ප්ට ආරාධනා නොකර, ඔබාමාට ආරාධනා කළොත්, එය ගැටලුවක් වේවි යැයි බ්‍රිතාන්‍ය රජය පෙන්වා දී තිබුණු හෙයින්, ඔබාමා ආරාධනා නොකරන බව හැරී කුමරු පවසා ඇත.

කේට් මිඞ්ලිටන්ගේත්, ඩයනා කුමරියගේත් මංගල්‍යයට සහභාගී වූ බ්‍රිතාන්‍ය ගායක එල්ටන් ජෝන් ද හැරී කුමරුන්ගේ මංගල උත්සවයට පැමිණෙනු ඇතැයි ද පැවැසෙයි. හැරීගේ මව ඩයනා කුමරිය 1997 වසරේ මියගිය අවස්ථාවේදී ඇය වෙනුවෙන් ‘කැන්ඩල් ඉන් ද වින්ඞ්’ ගීය නිර්මාණය කරමින් ගායනා කළේ එල්ටන් ජෝන්ය.

90 දශකයේ අතිශය ජනප්‍රිය බි්‍රතාන්‍ය පොප් ගායිකා කණ්ඩායම වූයේ ‘ස්පයිස් ගර්ල්ස්’ ය. වික්ටෝරියා බෙකම් (පා පන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම්ගේ බිරිඳ) ඇතුළු ‘ස්පයිස් ගර්ල්ස්’ කණ්ඩායමේ සාමාජිකාවන් සැවොම පවසා ඇත්තේ ඔවුන්ට විවාහ මංගල්‍යය සඳහා ඇරැයුම් ලැබුණු බවය.

 (ඒ.එෆ්.පී./රොයිටර්/ඬේලිමේල්)

 


RECOMMEND POSTS