රජ පවුලේ කතාව



ඉකුත් දින කිහිපයේදීම බ්‍රිතාන්‍ය රජ පවුලට විදෙස් මාධ්‍යයේ වැඩි ඉඩ කඩක් වෙන්ව තිබිණි. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව, බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ 92 වැනි ඡන්ම දිනය සහ ඇගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ගන්නේ කවුද යන්නට ඉන් ප්‍රමුඛත්වය ගත් වැඩි වශයෙන් අවධානය යොමු වු පුවත් විය.

ඒ උණුසුම මැකී යන්නටත් පෙර ලෝක මාධ්‍යයේ අවධානය තමන් සතු කරගන්නට අමුත්තෙක් සමත්විය. ඒ රජ පවුලේ අලුත්ම සාමාජිකයාය. බ්‍රිතාන්‍යයේ විලියම් සහ කේට් කුමරිය දාව උපන් අලුත් කුමරු එසේ අවධානය යොමු කරගත් තැනැත්තාය.

බ්‍රිතාන්‍යය මාධ්‍ය පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යයද බ්‍රිතාන්‍යය රජ පවුලේ අලුත් සාමාජිකයාගේ පැමිණිම අපේක්ෂාවෙන් සිටි අතර අලුත් කුමරුගේ ඡායාරූප ගැනීමට ලන්ඩන් නුවර ශාන්ත මේරි රෝහල ඉදිරිපට ඡායාරූප ශිල්පිහු තම කැමරා කාච මානගෙන සිටියහ.

අලුත් කුමරු රජ පවුලේ වාර්තා කිහිපයක්ම අලුත් කර තිබීම ද වැඩි අවධානයක් දිනාගෙන තිබිණි. මව රෝහල් ගත වූ විගස මෙලොව එළිය දුටු රජ පවුලේ තැනැත්තන් අතර මුල් තැනක් ගැනීමට අලුත් කුමරු සමත්විය. එහෙත් එම වාර්තාවට උරුමකම් කියන්නේ අලුත් කුමරුගේ අක්කණ්ඩිය වන චාලට් කුමරියයි.

කේට් කුමරිය රෝහල් ගත වී පැය දෙකක් ගත වෙන්නටත් පෙර චාලට් කුමරිය උපත ලැබුවාය. අලුත් කුමරු උපත ලැබුවේ කේට් කුමරිය රෝහල් ගතකර පැය පහකට පසුවය.

කෙසේ වෙතත් වසර සියයකට පසු රජ පවුලේ උපත ලැබූ විශාලතම පිරිමි දරුවා බවට පත්වන්නට අලුත් කුමරු සමත්ව තිබෙන අතර උපතේදී වැඩිම බරක් සහිත පිරිමි දරුවා ඔහු යැයි ද බ්‍රිතාන්‍යය රජ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. අප්‍රේල් 23 වැනිදා එනම් සඳුඳා උපත ලැබූ අලුත් කුමරුගේ බර කිලෝග්‍රෑම් 3.82 ක් බව පැවසේ.

වසර 2013 දී උපත ලැබූ අලුත් කුමරුගේ සොහොයුරාගේ උපතේදී බර කිලෝග්‍රෑම් 3.79ක් වූ අතර 2015 දී උපත ලැබූ චාලට් කුමරියගේ උපතේදී බර කිලෝග්‍රෑම් 3.71ක් විය.

හර්ෂණ තුෂාර සිල්වා

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS