රඟ මඬලෙන් බැස ගිය ශ්‍රීදේවි



ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ බොලිවුඞ් නිළි ශ්‍රීදේවි හෘදයාබාධයකින් මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

මියයනවිට ඇය 54 හැවිරිදි වියෙහි පසුවූවාය. ශ්‍රීදේවි හෘදයාබාධයට ගොදුරු වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායිහිදීය. ඇය සැමියා බොනී කපූර් සහ බාල දියණිය කෞෂි ද සමඟ ඩුබායි ගොස් සිටියේ බෙලිවුඞ් නවක නළු මෝහිත් මර්වාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහාය. මෝහිත් මර්වා කපූර් පවුලේ ඥාතියෙකි.

ශ්‍රීදේවිගේ හදිසි වියෝව බොලිවුඩය පමණක් නොව, ලොව පුරා සිටින බොලිවුඞ් සිනමා රසික රසිකාවියන්ට කම්පනයක් ගෙන දුන් පුවතක් වුණැයි වාර්තා විය. ඇගේ වියෝව සිදුවූයේ 24 දිනයේය.

ඇගේ වියෝවත් සමඟ ඉන්දීය අගමැති මෝදි ශෝකය පළ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. ‘ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ශ්‍රීදේවිගේ සමුගැනීම බොලිවුඞ් සිනමාවට සිදුවුණු විශාල පාඩුවක්. චරිතාංග නිළියක ලෙස ඇගේ රංගනය අසමසමයි. ඇගේ අඩුව බොලිවුඞ් සිනමා කර්මාන්තයට ඉතා හොඳින් දැනේවි.’ යැයි මෝදිගේ එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.

80 සහ 90 දශකයේ ජනප්‍රිය බොලිවුඞ් සරාගිනිය වූයේ ශ්‍රීදේවිය. . එදා ඇය බොලිවුඩයේ සරාගිනය වූවාය. ශ්‍රීදේවි සිනමා ලෝලීන්ගේ ආදරයටත්, විචාරකයන්ගේ පැසැසුමටත් ලක්වූයේ ‘නාගීනා’ (1986) චිත්‍රපටයේ නාග කන්‍යාවියගේ චරිතයට පණ පෙවීමෙනි. ‘මිස්ටර් ඉන්දියා’(1987), ‘ලම්හේ’ (1991), ‘ලාඞ්ලා’ (1994), ‘ජුඩායි’ (1997) වැනි චිත්‍රපට ඇය රඟපෑ අතිශය ජනප්‍රිය චිත්‍රපටය.

ශ්‍රීදේවි උපත ලැබුවේ 1963 වසරේ අගෝස්තු 13 වැනිදාය. විකිපීඩියා වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ඇය උපත ලබා ඇත්තේ ශ්‍රී අම්මා යංගර් ආයප්පාන් යන නමිනි. ඒ, ඇගේ පියාගේ උපන් නගරය වන ඉන්දියාවේ මදුරාසියේ සිවකාසි නගරයේය. ශ්‍රීදේවිගේ පියා ආයප්පන් දෙමළ ජාතිකයෙකි. ඔහු නීතීඥයෙකි. මව තෙලිඟු ජාතික කාන්තාවකි. ඇය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තිරුපති කාන්තාවක යැයි විකිපීඩියා වෙබ් අඩවියෙහි සඳහන් වෙයි.

බොලිවුඩයේ පළමු ‘සුපිරි නිළිය’ ලෙස සැළකෙන්නේ ශ්‍රීදේවිය. ඒ, ප්‍රධාන නිළිය ලෙස ඇය රඟපෑ චිත්‍රපට බොක්සි ඔෆිස් වාර්තා තැබීමත් සමඟය. ප්‍රධාන නිළිය මුල්කොට ගනිමින් චිත්‍රපට සාර්ථක කළ හැකි බව පෙන්වා දුන්නේ ශ්‍රීදේවි යැයි චිත්‍රපට විචාරකයෝ සඳහන් කරති.
හොඳම බොලිවුඞ් නිළිය ලෙස ශ්‍රීදේවි ෆිල්ම් ෆෙයාර් සම්මාන හයක් හිමි කරගෙන ඇත. 1990 දශකයේ වැඩිම මුදලක් අය කළ නිළිය ලෙස සැළකෙන්නේ ශ්‍රීදේවිය. පසුකාලීනව ශ්‍රීදේවි ඇගේ සැමියා බොනී කපූර් ද සමඟ එක් වී චිත්‍රපට නිෂ්පාදනයට පිවිසුණාය.

ශ්‍රීදේවි බොනී කපූර් සමඟ විවාහ වූයේ 1996 වසරේදීය. බොනී කපූර් යනු සුපිරි මෙන්ම ජනප්‍රිය බොලිවුඞ් නළු අනිල් කපූර්ගේ සොහොයුරාය. ශ්‍රීදේවි රඟපෑ චිත්‍රපට රැසක ඇගේ පෙම්වතා වූයේ අනිල් කපූර්ය. ශ්‍රීදේවි සහ බොනී කපූර්ගේ දියණියන් දෙදෙනා ජානිවී සහ කුෂී ය. බොනී කපූර්ගේ දෙවැනි බිරිය ශ්‍රීදේවිය.

ශ්‍රීදේවි හින්දි නිළියක පමණක් නොවෙයි, ඇය දෙමළ, තෙළිඟු, මලයාලම් පමණක් නොව කන්නාඩ චිත්‍රපටවල පවා රංගනයෙන් දායක වී ඇත. ශ්‍රීදේවි සිනමාවට පිවිසියේ ළමා නිළියක ලෙසිනි. ඒ, 1969 වසරේ සිටය. ළමා නිළියක ලෙසින් ශ්‍රීදේවි බොලිවුඞ් සිනමාවට පිවිසියේ 1975 වසරේදී ‘ජූලි’ චිත්‍රපටයෙනි. ඇය ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩයට පිවිසියේ 1979 වසරේ ‘සොල්වා සවාන්’ චිත්‍රපටයෙනි. කෙසේ නමුත් ඇය බොලිවුඞ් සිනමාලෝලීන්ගේ අවධානය දිනා ගත්තේ 1983 වසරේ ‘හිම්මත්වාලා’ චිත්‍රපටයෙනි.

1997 වසරෙන් පසු, සැමියා සමඟ එක් වෙමින්, චිත්‍රපට නිෂ්පාදනයට යොමුවුණු ශ්‍රීදේවි 2012 වසරේදී යළි රිදී තිරය ජය ගත්තේ ‘ඉංග්ලිෂ් විංග්ලිෂ්’ චිත්‍රපටයෙනි. ඒ, නිළියක ලෙස වසර 15 ක නිහැඬියාවකින් පසුවය. අවසන් වරට රඟ පෑ ‘මාම්’ චිත්‍රපටය සම්බන්ධයෙන් ද ශ්‍රීදේවි සිනමා විචාරකයන්ගේ දැඩි පැසැසුමට ලක් විය.

2013 වසරේ දී ඉන්දීය රජයෙන් පිරිනැමෙන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් ද ශ්‍රීදේවි පිදුම් ලැබුවාය. ‘පද්ම ශ්‍රී’ යනු ඉන්දීය වැසියකුට ඉන්දීය රජයෙන් පිරිනැමෙන සිවුවැනි ප්‍රධානතම සම්මානයයි. 2013 වසරේදී ම ශ්‍රීදේවි එදා මෙදා වසර 100 පුරාවට බිහිවූ විශිෂ්ටතම නිළිය ලෙස ද සම්මානයට භාජන වී ඇත. ඉදිරියේදී තිරගත වීමට නියමිත ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘සීරෝ’ චිත්‍රපටයට ද ශ්‍රීදේවි එක්වනු ඇත. ඒ, ගරු රඟපෑමක් ලෙසින් යැයි බොලිවුඩයෙන් වාර්තා වේ. එය ඇගේ අවසන් රංගනය වනු ඇතැයි ද පැවැසෙයි.

බොලිවුඩ් පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS