මේගන්ගේ සැබෑ නම මේගන් නොවේ



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය විවාහ මංගල උත්සවයට තව ඇත්තේ දින තුනක් පමණි. හැරී සහ මේගන්ගේ මෙම විවාහ මංගල්‍යය මේ වසරේ, ලොව කාගේත් අවදානයට ලක් වන කැපී පෙනෙන සිදුවීමක් වනු නිසැකය. හැරී මේගන් විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් රසවත් තොරතුරු මේ වනවිට ප්‍රසිද්ධියට පත් වෙමින් ඇත.

අප කවුරුත් ඇය මේගන් මාකෙල් යනුවෙන් දැන සිටියත්, ඇගේ නම රේචල්ය. හැරී කුමරුගේ පෙම්වතිය වීමට පෙර, මේගන් මාකෙල් බටහිර ලෝකයේ කා අතරේත් ජනප්‍රිය වූයේ ‘සූට්ස්’ නමැති ඇමෙරිකන් ටෙලි කතා මාලාව හරහාය.

මේගන් ‘සූට්ස්’ කතාමාලාවේ පෙම්වතා මයික් සමග. මයික්ගේ චරිතයට පණ පොවන්නේ පැට්‍රික් ජේ ඇඩම්ස්ය. ඇඩම්ස් ද 19 ලන්ඩනයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවය පැමිණෙනු ඇත.

‘සූට්ස්’ නීතීඥවරුන් සහ නීතීඥ සමාගමක් වටා ගෙතුණු කතා මාලාවකි. මේ වනවිට ‘සූට්ස්’ කතාංග හතක් තිරගත වී ඇති අතර, මේගන් එහි රංගනයෙන් දායක වූයේ ඇගේ සැබෑ නම ඇති රේචල් නමැති චරිතයටය. මේගන් යන නම ටෙලි නිළියක ලෙස ජනප්‍රිය වීමට ඇය පසුව එක් කර ගත් නමකි.

පසුගිය අප්‍රේල් 25 වැනිදා මේගන් රංගනයෙන් දායක වුණු අවසන් කතාව විකාශය විය. එහිදී ‘සූට්ස්’ කතාවේ පෙම්වතා මයිකල් සමඟ ඇය විවාහ වූවාය. ඒ අනුව, සූට්ස් කතා මාලාවෙන් රේචල් ලෙස මේගන් සමුගත්තාය. ඒ හැරී කුමරුන් සහ රාජකීය කටයුතු වෙනුවෙන් කැප වීමට ඇති බැවිනි.

සූට්ස් කතා මාලාවේ සරාගී ජවනිකා කිහිපයකට ද මේගන් එක් වූවාය.

ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍යයට, සූට්ස් කතා මාලාවේ ඇගේ සහෝදර නළු නිළි කැළක් ද එක්වනු ඇත.

ඉදිරියේ දී හැරී කුමරු, ඇය ප්‍රසිද්ධියේ හඳුන්වා දෙනු ඇත්තේ ද මේගන් ලෙස නොව රේචල් ලෙසය.

‘මාගේ මුණුපුරු වේල්සයේ හෙන්රි චාල්ස් ඇල්බට් ඬේවිඞ් කුමරු සහ රේචල් මාකෙල්ගේ විවාහයට මාගේ පූර්ණ අනුමැති සහ කැමැත්ත ලබා දෙනවා’ යනුවෙන් යුවල විවාහවීම සම්බන්ධයෙන් දෙවැනි එලිසබත් මහ රැජින සිය කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ පණිවුඩයේ මෙසේ සඳහන් වෙයි. මහ රැජිනගේ මෙම ප්‍රකාශය රජ මාලිගයේ ලිපි ලේඛන අතරට එක් කර තිබේ.

හැරී සහ මේගන් මාකෙල්ගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ පසුගිය 2017 වසරේ නොවැම්බරයේදීය. මේගන් මාකෙල්ගේ ඇමෙරිකාවේ සිටින පියා සහ මවගෙන් තමන්ට ආශිර්වාද හිමිවුණු බව හැරී කුමරු පවසා තිබුණි.

හැරී කුමරු සමඟ විවාහ වන මේගන් ‘කුමරිය’ යනුවෙන් ආමන්ත්‍රණය නොවනු ඇත. ඇයට ගරු නාමයක් හිමි වනු ඇත. හැරී කුමරුන්ගේ අයියණ්ඩිය විලියම් කුමරුගේ බිරිඳ ද රාජකීය සම්භවයක් ඇති නැනැත්තියක නොවෙයි. ඇය ‘කේට් කුමරිය’ ලෙස හැඳින්වෙන්නේ නැත. ඇය හැඳින්වෙන්නේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය යන නමිනි.

(බ්‍රිතාන්‍ය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS