මේගන් මාකෙල්ගේ පරණ සැමියා



හැරී කුමරු සමඟ විවාහ වන මේගන් හැරී කුමරුන්ට වඩා අවුරුදු තුනකින් වැඩිමල්ය. හැරී කුමරුන්ගේ වයස අවුරුදු 33 කි. මේගන්ගේ වයස අවුරුදු 36 කි. එපමණක් නොව, මේගන් අසාර්ථක විවාහයකින් අත්දැකීම් ලැබූ තැනැත්තියකි.

මේගන් විවාහ වී සිටියේ ටෙ‍්‍රවර් එන්ගෙල්සොන් නමැත්තා සමඟය. මේගන් මෙන්ම ටෙ‍්‍රවර් ද ඇමෙරිකානුවෙකි. ඔහු උපත ලබා ඇත්තේ 1976 වසරේ ඔක්තෝබර් 26 වැනිදාය.

ටෙ‍්‍රවර් එන්ගෙල්සොන් චිත්‍රපට නිර්මාණකරණයට සම්බන්ධ අයෙකි. ඔහු හොලිවුඩයට සම්බන්ධ වී සිටින්නේ සහාය නිෂ්පාදකවරයකු ලෙසය. ඔහු නළු නිළියන්, ගත්කතුවරුන්, සිනමා අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් කළමණාකරුවකු ලෙස ද ඔහු සහ ඔහුගේ සමාගම සේවය සපයයි.

ටෙ‍්‍රවර් එන්ගෙල්සොන් සහ මේගන් මාකෙල් දැන හඳුනා ගෙන ආශ්‍රය පටන් ගෙන ඇත්තේ 2004 වසරේදීය. පෙම්වතුන් ලෙස වසර හයක් සමීප ඇසුරක් පැවැත්වූ ටෙ‍්‍රවර් සහ මේගන්, 2010 වසරේ දී විවාහ ගිවිස ගත්හ. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය 2011 සැප්තැම්බර් 10 සිදුවිය. ඒ, ජැමෙයිකාවේ ඔහෝ රියෝස් නිවාඩු නිකේතනයේදීය.

මංගල උත්සවය ඉතා උත්කර්ශවත් අන්දමින් සිවු දිනක් පැවැත්විණි. අමුත්තෝ 102 ක් ඊට සහභාගී වූහ. විවාහ මංගල කටයුතු විනාඩි 15 කට සීමා වුණු බවත්, ඉතිරි කාලය පුරාවට පිරිස කා බී විනෝද වෙමින් නටමින් කාලය ගත කළ බවත් ඊට සහභාගී වූ පිරිස් පවසා ඇත.

විවාහ වී වසර දෙකක් යද්දී, දෙදෙනා අතර මත ගැටුම් නිර්මාණය විය. ඒ අනුව පැවැති නොගැලපීම් නිසා දෙදෙනා වෙන් වෙන්ව ජීවත් වුණු බවත් 2013 දී දෙදෙනා දික්කසාද වුණු බවත් වාර්තා වේ.

සූට්ස් කතා මාලාවේ රේචල්ගේ චරිතය ජනප්‍රිය වීමත්, මේගන් එම කතාමාලාවට වැඩි අවදානය යොමු කිරීමත් විවාහය දෙදරා යෑමට හේතු වුණැයි ඕපාදූප පුවත් සේවා පෙන්වා දී තිබුණි. මේගන් ‘සූට්ස්’ රූපවාහිනි කතාමාලාවට සම්බන්ධ වී ඇත්තේ විවාහ වී මාස කිහිපයක් ගත වෙද්දීය.

‘සූට්ස්’ කතාමාලාව රූගත කෙරුණේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරය. ටෙ‍්‍රවර් සිටියේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය. දෙදෙනාගේ සම්බන්ධය දුරස්ථවීමට එය ද හේතුවක් වී ඇත. කැනඩාවේ ටොරොන්ටෝ නුවර මේගන්ට වෙනම නවාතැනක් ද ඇත.

(බ්‍රිතාන්‍ය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS